රුපියල් මිලියන 41 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 19 දින අළුයම් කාලයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 139යි ග්‍රෑම් 100ක පමණ තොගයක් ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ ගොඩබිමට ගෙන ඒමට නොහැකිව මුහුදට දමා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් හතර වන වේග ප්‍රහාරක බලගණයේ P 401 වේග ප්‍රහාරක මුර යාත්‍රාව, P 177, P 178, Z183, Z 215 යන වෙරළබඩ මුර යාත්‍රා සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් CG 410 යන යාත්‍රා එක්ව තොන්ඩමනාරු මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ තිබූ ඩිංගි යාත්‍රා රැසක් පරීක්‍ෂා කරන ලදී. එහිදී නාවික මෙහෙයුම් හමුවේ ගොඩබිමට ගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් මුහුදට දමනලද කේරල ගංජා කිලෝ 139 ග්‍රෑම් 100ක පමණ තොගයක් අඩංගු පොලිතින් උර හතරක් (04) CG 410 යාත්‍රාව මගින් සොයාගන්නා ලදී.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 41 කට අධික වෙතැයි විශ්වාස කරන අතර, මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී ජාවාරම් කරුවන් විසින් ලබා ගෙන නාවික මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට ගෙන ඒමට නොහැකිව මෙලෙස මුහුදට දමන්නට ඇතැයි නාවික හමුදාව සැක කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ගිනි තබා විනාශ කිරීමට කටයුතු කෙරිණි.