නාවික සැතපුම් 610 ක් දුර ගැඹුරු මුහුදේ අනතුරට පත් ධීවරයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 610 ක් පමණ (කිලෝ මීටර් 1129 ක් පමණ) දුර ගැඹුරු මුහුදේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා අසාධ්‍යව සිටි, මෙරට බහුදින යාත්‍රාවක ධීවරයෙකු ශ්‍රි ලංකා නාවික නෞකා ‘සයුරල’ නෞකාව මගින් හම්බන්තොට වරාය වෙත රැගෙනවිත් ප්‍රතිකාර සඳහා කඩිනමින් හම්බන්තොට රෝහල වෙත යොමු කිරීමට, නාවික හමුදාව අද (2021 ජූලි 18) කටයුතු කෙරිණි.

ගාල්ල ධීවර වරායෙන් 2021 ජූනි මස 29 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති ධීවරයින් හය දෙනෙකුගෙන් (06) සමන්විත ‘SGS' නැමැති බහු දින ධීවර යාත්‍රාවේ (ලියාපදිංචි අංක IMUL-A-0878 GLE) සිදු වු හදිසි අනතුරකින් යාත්‍රාවේ සිටි ධීවරයෙකුගේ උදරය ප්‍රදේශයට සිදුවූ කැපුම් තුවාලයක් හේතුවෙන් එම ධීවරයා ඉතා අසාධ්‍ය තත්වයෙන් පසු වන බවත්, එම ධීවරයා ප්‍රතිකාර සඳහා යොමුකිරීමට සහයවන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික මුදවා ගැනීම් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ආපදා සඥාවක් මගින් දැනුම් දෙන ලදි.

එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, අනතුරට පත් ධීවරයා ප්‍රතිකාර සඳහා රැගෙන ඒමට යෙදවූ ශ්‍රි ලංකා නාවික නෞකා ‘සයුරල’ නෞකාව 2021 ජූලි 17 දින පෙරවරු 0700 පැයට පමණ අනතුරට පත් ධීවරයා සිටි 'SGS' නමැති බහුදින ධීවර යාත්‍රාව වෙත ලඟාවී, එම ධීවරයා සයුරළ නෞකාව වෙත ලබාගෙන අවශ්‍ය ප්‍රථමාධාර ලබා දෙමින් ගොඩබිම දෙසට යාත්‍රා කිරීම ආරම්භ කරන ලදී.ඒ අනුව, සයුරළ නෞකාව මගින් අසාධ්‍ය ධීවරයා ආරක්ෂිතව අද උදෑසන (2021 ජූලි 18) හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, ප්‍රතිකාර සඳහා කඩිනමින් හම්බන්තොට රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

මෙලෙස, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් නිරන්තර සූදානමෙන් සිටී.