රුපියල් මිලියන 103 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය අනලතිවු දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජූලි 12) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 344යි ග්‍රෑම් 550ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත 04 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අයත් පී 497 වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් අද (2021 ජූලි 12) අළුයම යාපනය අනලතිවු දූපතට ඔබ්බෙන් වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර, එම යාත්‍රාවේ තිබූ පොලිතීන් මළු 11ක අසුරන ලද තෙත බර සහිත කේරළ ගංජා කිලෝ 344යි ග්‍රෑම් 550ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩිංගි යාත්‍රා‍ව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 103 කට අධික වෙතැයි විශ්වාස කරන අතර, මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී ජාවාරම් කරුවන් විසින් ඩිංගි යාත්‍රාව වෙත ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සාහකරන්නට ඇතැයි නාවික හමුදාව සැක කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා (03) වයස අවුරුදු 34ත් 38ත් අතර වයසේ පසුවන නච්චිකුඩා, මන්නාරම සහ යාපනය ගුරුනගර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.