රුපියල් මිලියන 52 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 ජුනි 20 දින රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් තවත් කේරල ගංජා කිලෝ 174යි ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා මුහුදු තීරය ආවරණය වන පරිදි මුර සංචාර වැඩිකරමින් නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානය මගින් P177 වෙරළබඩ මුර යාත්‍රාව සහ විශේෂ යාත්‍රා බලඝනයට අයත් Z 196 සහ Z 215 යන යාත්‍රාවන් යොදා ගනිමින් 2021 ජුනි 20 වන දින රාත්‍රී කාලයේ යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර, එම යාත්‍රාවේ තිබූ පාර්සල් 05ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 174යි ග්‍රෑම් 50ක පමණ තොගයක් සහ එක් පාර්සලයක අසුරා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 05ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රා‍ව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, මෙම කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 52 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02) වයස අවුරුදු 28ත් 34ත් අතර වයසේ පසුවන පේදුරුතුඩුව සහ මුලතිව් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා, වියලි කහ සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.