රුපියල් මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මාදගල් මාසන්කුඩා වෙරළ ප්‍රදේශයේ අද (2021 ජුනි 02) අළුයම සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ කේරළ ගංජා කිලෝ 101 ග්‍රෑම් 700 ක පමණ ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානය මගින් අද (2021 ජුනි 02) අළුයම මාදගල් මාසන්කුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ පාමුර සංචාරයේ දී වෙරළේ නවතා තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවකින් ගොඩබාමින් තිබූ කේරළ ගංජා සහිත ගෝනි මලු දෙකක් (02) සමඟ එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලදී. තවද, ප්‍රදේශයේ සිදු කළ වැඩි දුර පරික්‍ෂාවේදී නාවික හමුදා මෙහෙයුම හේතුවෙන් රැගෙන යාමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් වෙරළේ අතහැර දමන ලද තවත් කේරළ ගංජා සහිත ගෝනි මලු දෙකක් (02) සමගින්, කිලෝ 101 ග්‍රෑම් 700 ක පමණ කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගයේ විථි වටිනාකම රු.මිලියන 30 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරු මාදගල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලවාලේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව වැඩි අවධානයෙන් යුතුව මුර සංචාර වැඩි කරමින් මෙහෙයුම් සිදු කිරීම හේතුවෙන්, පසුගිය දින හතර තුළදී (04) පමණක් උතුරු සහ උතුරු මැද නාවික විධාන මගින් ජාවාරම් කරුවන් විසින් මෙරටට ගෙන ඒමට උත්සහ කළ රු.මිලියන 63 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 212 ග්‍රෑම් 235 ක පමණ ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර දීමට හැකියාව ලැබිණි.