කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය යන සිරස්තලය යටතේ 2021 මැයි මස 21 වන දින නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි 2021 මැයි 20 වන දින ඇති වු ගින්න අද (2021 මැයි 22) වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මේ වන විට පාලනය කරමින් සිටියි.

2021 මැයි මස 21 වන දිනද, නාවික හමුදාවේ, වරාය අධිකාරියේ සහ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ගොස් ආපදා තත්ත්වය පිලිබඳ වැඩිදුර අධීක්‍ෂණය කරන ලදි. තවද නෞකාවමත ඇති බහාලුම් වලට ඉහලින් විටින් විට ගිනි දළු නිරික්‍ෂණය වන අතර, මේ වන විට වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රාවන් 03ක් මගින් ගින්න ඇති වූ බහාලුම් අවට උෂ්ණත්වය පාලනය කිරීම සඳහා සිසිලන ක්‍රියාවලිය සිදු කරමින් සිටි.

මෙම ගින්න පාලනය කිරීමේ මෙහෙයුමට සහය වීම සඳහා නාවික හමුදාවේ ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාව සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ තවදුරටත් ස්ථානගත කර ඇති අතර, ඇති වන ඕනෑම හදිසි තත්ත්වයකදී ක්ෂණිකව ක්‍රීයාත්මක වීම සඳහා නාවික හමුදා ටග් යාත්‍රාවක් ද නාවික හමුදාව විසින් සූදානමින් තබා ඇත.