කේරළ ගංජා කිලෝ 107කට අධික තොගයක් කල්පිටිය කලපුවේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 මාර්තු 08 වන දින කල්පිටිය සෝමතිව් දූපතෙහි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 107 ග්‍රෑම් 125 ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව වයඹ නාවික විධානය මගින් කල්පිටිය සෝමතිව් දූපතෙහි 2021 මාර්තු 08 වන දින සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී අත්හැර දමනලද තෙප්පමක් තුළ සූක්‍ෂම ලෙස සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 107 ග්‍රෑම් 125 ක තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය මෙලෙස සඟවා තබන්නට ඇතැයි සැක පල කෙරේ.

එමෙන්ම, මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව 2021 පෙබරවාරි 23 වන දින සිට මාර්තු 07 වන දින දක්වා කාලය තුළ නැගෙනහිර, උතුර, වයඹ, උතුරුමැද, ගිණිකොන සහ දකුණ යන නාවික විධානයන් මගින් දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරෝයින් ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 421 ක්, කේරළ ගංජා කිලෝ 13 මිලිග්‍රෑම් 25ක් සහ දේශීය ගංජා කිලෝ 07 ග්‍රෑම් 752ක් සමඟ සැකකරුවන් 18 ක් නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17 ත් 63 ත් අතර වයසේ පසුවන බැද‍්දේවෙල, හම්බන්තොට, නගර්කෝවිල්, තෙලිජ්ජවිල, නාවච්චෝලෙයි, කල්මුනේ, ත්‍රිකුණාමලය, මීගමුව, ඇඹිලිපිටිය, වැල්ලවාය සහ ඇතිලිවැව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා හම්බන්තොට,පුත්තලම, තලෙයිමන්නාරම, වැලිගම, කල්පිටිය, කල්මුනේ, පලෙයි, තණමල්විල සහ කුඩාඔය යන පොලිස් ස්ථාන වෙතත් යාපනය සහ සර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකායන් වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.