සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සහ ගිනි අවියක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය විසින් 2020 ඔක්තෝබර් 18 සහ 19 දෙදින පදවිය ඇතාවැටුනුවැව සහ මන්නාරම නානාට්ටාන් යන ප්‍රදේශවල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සහ දේශීයව නිශ්පාදිත ගිනි අවියක් සඟවා තිබියදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානය සහ පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පදවිය ඇතාවැටුනුවැව ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී කැලෑවක් තුළ සඟවා තිබූ මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් බෝම්බ 02 ක්, මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් බෝම්බ 07 ක් සහ කිලෝ 08 ක් පමණ බරැති යුධ ටැංකි නාශක පීඩන බෝම්බයක් (01) (Anti-Tank Pressure Mine) සොයා ගැනීමට සමත් වූ අතර, මෙම පුපුරණ ද්‍රව්‍ය පසුගිය මානුෂීය මෙහෙයුම් පැවති වකවානුවේ එල්ටීටීඊය විසින් සඟවා තබන ලද පුපුරණ ද්‍රව්‍ය බවට සැක පල කෙරේ. තවද, උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ සිදු කල තවත් සෝදිසි මෙහෙයුමකදී කැලෑවක් තුළ සඟවා තිබූ දේශීයව නිශ්පාදිත ගිනි අවියක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙතත්, ගිනි අවිය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පරයානකුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙතත් භාරදීමට කටයුතු කරන ලදි.