කේරළ ගංජා කිලෝ 33 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරු‍වන් සිව් දෙනෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම නරුවිලිකුලම් ප්‍රදේශයේ 2020 ඔක්තෝබර් 09 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 33 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානය හා වන්කාලේ පොලීසිය එක්ව මන්නාරම නරුවිලිකුලම් ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදි ගෝනියක් තුළ පාර්සල් 10 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 33 ග්‍රෑම් 650 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදි.

එමෙන්ම වයඹ නාවික විධානය හා පරයානකුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ඔක්තෝබර් 07 වන දින සිලාවතුර නගරයේ සිදු කළ මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම්කර තිබූ ‍කේරළ ගංජා ග්‍රෑම් 770 ක ප්‍රමාණයක් සමඟ එම ප්‍රදේශයේම පදිංචි සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කෙරිණි.

තවද, අත්අඩංගුවට ගත් කේරළ ගංජා සහ සැකකරුවන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා වන්කාලේ සහ සිලාවතුර පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු කළ අතර, මෙවැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.