තහනම් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට නිරන්තර දායකත්වය සපයන නාවික හමුදාව එහි තවත් එක් දිගුවක් ලෙසින් ගෙවීගිය දින කිහිපය තුළ අම්බලන්තොට, පලෙයිතිව් දූපත සහ පෙරියකාර්සල් යන ප්‍රදේශයන් තුලදී තහනම් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) නීතියේ රැහැනට හසුකර දීමට සමත් විය.

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් පොලිස් විශේෂකාර්ය බලකාය සමග එක්ව අම්බලන්තොට ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී සූක්‍ෂම ලෙස සඟවා යතුරුපැදියක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරෝයින් ග්‍රෑම් 7.03 ක ප්‍රමාණයක් සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගත් අතර, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් පලෙයිතිව් දූපතෙහි සිදු කළ පාමුර සංචාරයකදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කර, එහි තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 300 ක පමණ ප්‍රමාණයක් හා කේරළ ගංජා ලෙස හඳුන්වන මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 920 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු එම ඩිංගි යාත්‍රාව ඇතුළු අනෙකුත් ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදි. තවද, උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂකාර්ය බලකාය එක්ව මන්නාරම, පෙරියකාර්සල් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරල ගංජා ලෙස හඳුන්වන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක පමණ ප්‍රමාණයක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 24 ත් 33 ත් අතර වයස්වල පසුවන අම්බලන්තොට, ගුරුනගර් සහ පෙරියකාර්සල් යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර, අදාල සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් තහනම් මත්ද්‍රව්‍ය, යතුරුපැදිය සහ ඩිංගි යාත්‍රාව ඇතුළු අනෙකුත් උපකරණ වැඩිදුර පරීක්‍ෂණ සඳහා පිලිවෙලින් අම්බලන්තොට, පූනරින් හා මන්නාරම යන පොලිස් ස්ථානයන් වෙත භාර දීමට කටයුතු කරන ලදි.

දිනෙන් දින මෙරට තරුණ පරපුර වෙලාගන්නා මත් උවදුර මැඩලීම සඳහා නාවික හමුදාව දිවයින වටා මුහුදු ප්‍රදේශයේ මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශ වල මෙවැනි මෙහෙයුම් නිරන්තරව ක්‍රියාත්මක කරනු ලබයි.