මුහුදේ සිදුකළ සුවිශේෂී නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් නාවික පුද්ගලයින් සිව් දෙනෙකු වෙත ජාත්‍යන්තර සාගරික සංවිධානය මඟින් ඇගයීමක්

ජාත්‍යන්තර සාගරික සංවිධානය (International Maritime Organization – IMO) මඟින් මුහුදේ සුවිශේෂී නිර්භීතකම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික පුද්ගලයින් සිව් දෙනෙකු වෙත (04) පිරිනමන ලද ප්‍රශංසාත්මක සහතිකපත් (2021- IMO Award for Exceptional Bravery at Sea) එම නාවික පුද්ගලයින් වෙත ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් පසු ගිය දා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සමුද්‍රීය ආරක්‍ෂාව සහ ජලතරණය සම්බන්ධයෙන්, ජාත්‍යන්තර සාගරික සංවිධානය 1948 වර්ෂයේ දී පිහිටුවා ඇති අතර, එහි ප්‍රමුඛතම කාර්යය වන්නේ සාගරික සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීමේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්කය ලඟා කර ගැනීමයි. ඒ අනුව, ජාත්‍යන්තර නෞකා ගමනාගමන කටයුතු ප්‍රවේශම්කාරී ලෙස සහ සුරක්‍ෂිතව සිදු කර සාගරික දුෂණය වැළැක්වීම උදෙසා වන ජාත්‍යන්තර සම්මුතිය (International Convention ‍for the Prevention of Pollution from Ships – MARPOL) ක්‍රියාවට නංවා, සමුද්‍රීය දුෂණය වැළැක්වීම, ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම, වගකීම සහ වන්දි ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර සාගරික සංවිධානය සුවිශේෂි කාර්යභාරයක් සිදුකරනු ලබයි.

ඒ අනුව, තම ජීවිතය අහිමි වීමේ අවදානම නොතකා, මුහුදේදී ආපදාවට පත් පුද්ගලයින්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ විවිධ රටවල පුද්ගලයන් සිදු කරනු ලබන සුවිශේෂී නිර්භීත ක්‍රියාවන් සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දීම ‍උදෙසා ජාත්‍යන්තර සාගරික සංවිධානය මඟින් (International Maritime Organization – IMO) එම නිර්භීත ක්‍රියා අගයමින් වාර්ෂිකව ‘Exceptional Bravery at Sea’ යන ප්‍රසංශාත්මක සහතිකය පිරිනමනු ලබන අතර, 2021 වර්ෂයේ එම ප්‍රශංසාත්මක සහතිකය පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික පුද්ගල‍යන් සිව් දෙනෙකු (04) ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්දේශ කර ඇත.

2020 සැප්තැම්බර් 03 වන දින ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනිගෙන ආපදාවට පත් ‘MT New Diamond’ නැමති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් වෙරළබඩ රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැඳීම ඉටුකිරීම සඳහා, ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් පරිදි යෙදවීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

එහිදී අනතුර හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි ආපදාවට පත් නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියාගේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුම සැළසුම් කර ඒ සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ රණරිසි නෞකාවේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් කේආර්ජීආර්එස් රන්තැන්න වෙතත්, අනතුරට පත්ව ගිනිගනිමින් තිබු නෞකාව වෙත ඇතුළු වී තම ජීවිත අවදානම නොතකා නෞකාවේ ඉහල මාලයක් තුල බරපතල ලෙස තුවාල ලබා වැටී සිටි එම නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා රණරිසි නෞකාව වෙත රැගෙන ඒම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ලුතිනන් කේජීඒඑස්එම් විජේරත්න, නායක ඉංජිනේරු කාර්මික ඩීඑල්කේ මුදියන්සේ සහ බලනැවි ඩබ්ජීජීයූ සේනාරත්න යන නාවික පුද්ගලයන් වෙතත්, ඔවුන් සිදුකළ නිර්භීත ක්‍රියාව ඇගයීමට ලක් කරමින් ජාත්‍යන්තර සාගරික සංවිධානය වෙතින් ප්‍රසංසාත්මක සහතිකපත් පිරිනමන ලදී. එසේ පිරිනමන ලද ප්‍රශංසාත්මක සහතික පත් එම නාවික පුද්ගලයන් වෙත ප්‍රධානය කිරීම මෙලෙස නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවති මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.