නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව හැමිල්ටන් ඇල ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරයට සමගාමීව, හැමිල්ටන් ඇල ආශ්‍රිත ප්‍රදේශය සහ උස්වැටකෙයියාව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් උපුල්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් 2021 දෙසැම්බර් මස 19 වන දින සිදු කෙරිණි.

ශ්‍රී ලංකාව, වටා ඇති වෙරළ තීරය ඔස්සේ සාගරයට එක්වන ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව සියළුම නාවික විධාන ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නංවනු ලබයි.

ඒ අනුව, හැමිල්ටන් ඇළ ඔස්සේ කැළණි ගඟ හරහා සාගරයට එක්වන අපද්‍රව්‍ය මඟින් බටහිර වෙරළ තීරය දූෂණය වීම වළක්වා ගැනීම සඳහා කැළණි ග‍ඟේ සිට මීගමු කළපුව දක්වා හැමිල්ටන් ඇළෙහි කිලෝමීටර 05ක පමණ දුර ප්‍රමාණයක රැදී පවතින ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ විශේෂ වැඩසටහනක් බටහිර නාවික විධානය මඟින් 2021 දෙසැම්බර් 19 වන දින සිදු කරන ලදී.

මෙම වැඩසටහන ඕෂන්ලස්ට් සඟරාවේ සහ සිනෝරා පදනමේ උපදේශකත්වය අනුව බටහිර නාවික විධානයට අයත් නාවික පුද්ගලයින්, විශ්‍රාමික නාවික හමුදා නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්, වත්තල ප්‍රාදේශීය සභාව, පහත්බිම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, සම්‍රද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, මාස් හෝල්ඩිංග්ස් ආයතනය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ දායකත්වයෙන් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.

තවද, මෙම වැඩසටහනට සමඟාමීව විශ්‍රාමික නාවික හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් එක්ව උස්වැටකෙයියාව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන ලද අතර, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම වැඩසටහන් මඟින් ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හැමිල්ටන් ඇල අවට ප්‍රදේශයෙන් සහ උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.