වයඹ නාවික විධානයේ අභිනවයෙන් ඉදිකළ ‘භරණ චෛත්‍යයේ’ කොත් වහන්සේ නිරාවරණය කෙරේ

වයඹ නාවික විධානයේ ශ්‍රීලංනානෞ භරණ ආයතනය තුළ පිහිටි විහාරස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ‘භරණ චෛත්‍යයේ’ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යමහෝත්සවය 2021 දෙසැම්බර් 18 උඳුවප් පුර පසලොස්වක පොහාය දින වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්නගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

නාවික හමුදා බෞද්ධ සංගමයේ සහ වයඹ නාවික විධානයේ නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල මූල්‍යමය දායකත්වයෙන් වයඹ නාවික විධානයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් ඉදිකරන ලද මෙම චෛත්‍යයෙහි ඉදිකිරීම් කටයුතු 2021 ඔක්තෝබර් මස 10 වන දින නාවික හමුදාධිපතිගේ සුරතින් මුල්ගල් තබා ආරම්භ කරන ලදි. එහි සර්වඥ ධාතූන් තැන්පත් කිරීම 2021 නොවැම්බර් 20 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව, ඉදිකිරීම් සම්පූර්ණ කළ ‘භරණ චෛත්‍යයේ’ කොත් වහන්සේ නිරාවරණය කිරීම ගරුතර මහා සංඝරත්නයේ ජය පිරිත්සඡ්ඡායනා, දේව ආරාධනා, විදුලි ආලෝක පූජා සහ හේවිසි හඬ මධ්‍යයේ නාවික හමුදාධිපති විසින් 2021 දෙසැම්බර් මස 18 වන දින සිදු කරන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කෙරුණු මෙම පුන්‍යකර්මය සඳහා, මහ සංඝරත්නය, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදාධිපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් සුජීව සෙනවිරත්න, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මහේන්ද්‍ර වීරරත්න ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ වයඹ නාවික විධානයේ නාවික පුද්ගලයින් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.