නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව කඩොලාන පැළ ලක්‍ෂයක් රෝපණය කිරීම සහ පුත්තලම නව ජැටිය විවෘත කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රදානත්වයෙන්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරයට සමගාමීව, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත සිට මල්වතුඔය දක්වා කළපු, ගංඟා මෝය සහ ඉවුරු ආවරණය වන පරිදි කඩොලාන පැළ ලක්‍ෂයක් රෝපණය කිරීම සහ අභිනවයෙන් ඉදිකරන ලද පුත්තලම ජැටිය විවෘත කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රදානත්වයෙන් 2021 දෙසැම්බර් මස 18 වන දින සිදු කෙරිණි.

ස්වාභාවික හේතූන් මත ගංඟා මෝය, ඉවුරු සහ වෙරළ පරිසරය ඛාදනය වීම වලක්වා එම පරිසර පද්ධතීන්ගේ ‍ජෛව විවිධත්වය සුරැකීම උදෙසා කඩොලාන පරිසරය සුවිශාල දායකත්වයක් ගෙන දෙන අතර, එමඟින් නිර්මාණය වන ස්වාභාවික මත්ස්‍ය අභිජනන අඩවි තුළින් ධීවර ජ්‍රජාවට ඉහළ ආර්ථික ප්‍රථිලාභ ගෙනදීමට මෙන්ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට සහ පිරිසිදු වාතාශ්‍රයක් ලබා ගැනීමටත් මහඟු පිටුවහලක් ගෙන දෙයි. ඉහළ පාරිසරික වටිනාකමක් ඇති මෙම කඩොලාන පරිසර පද්ධතිය අනාගත පරපුර වෙත රැකදීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි කඩොලාන රෝපණය කිරීම සිදු කරනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ මඟපෙන්වීම මත වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්නගේ මෙහෙයවීමෙන්, 2021 දෙසැම්බර් මස 18 වන දින ආරම්භ කෙරුණු මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ තම්බපණ්නී ආයතනය මඟින් හලාවත මෝය හා ඕලන්ද ඇල ඉවුර ආශ්‍රිත ප්‍රදේශයේත්, ශ්‍රීලංනානෞ විජය ආයතනය මඟින් කල්පිටිය සහ පුත්තලම ප්‍රදේශයන්ගේ දුපත් සහ කලපු ඉවුරු ආශ්‍රිතවත්, නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානය මඟින් කලාඔය ආශ්‍රිත ඉවුරු හා හිස් භූමි ප්‍රදේශයන්ගේත්, ශ්‍රීලංනානෞ භරණ ආයතනය මඟින් මෝදරගම්ආරු ආශ්‍රිත දූපත් හා ඉවුරු ප්‍රදේශයේත්, ශ්‍රීලංනානෞ ථේරපුත්ත ආයතනය මඟින් මල්වතු ඔය ඉවුරු ආශ්‍රිතව සහ දූපත් අවටත් වශයෙන් මෙම ක‍ඩොලාන පැල ලක්‍ෂය (100000) රෝපණය කිරීම සිදු කරනු ලබයි.

තවද, මෙරට ප්‍රථම වතාවට දැඩි ලෙස ඉවුරු ඛාදනයට ලක්වන ගංඟා ඉවුරු ප්‍රදේශ සඳහා කොන්ක්‍රීට් ආධාරක මත කඩොලාන රෝපණය කිරීම මල්වතු ඔය ආශ්‍රිතව සිදු කිරීම මෙම කඩොලාන ව්‍යාපෘතිය යටතේ සිදුවන තවත් සුවිශේෂී සිදුවීමකි.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට කඩොලාන විශේෂ 22ක පමණ ප්‍රමාණයක් පවතින අතර, ඉන් කඩොලාන විශේෂ 16ක් මෙම ව්‍යාපෘතිය සිදුකෙරන ප්‍රදේශය තුළ පවතී. ඒ අනුව, ලංකා සුළු ධීවර සම්මේලනයේ කඩොලාන සංරක්‍ෂණ අංශයෙහි අධ්‍යක්‍ෂ ඩග්ලස් තිසේරා මහතා ගේ තාක්‍ෂණික උපදේශකත්වය යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පැළ රෝපණය කිරීම 2021 සැප්තැම්බර් 01 වන දින සිට ආරම්භ කළ අතර, හලාවත සිට මල්වතු ඔය දක්වා කළපු, ගංඟා මෝය සහ ඉවුරු ආවරණය වන පරිදි හෙක්ටයාර 261ක පමණ භූමි ප්‍රදේශයක සිදු කෙරෙන මෙම කඩොලාන රෝපණය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් එම ප්‍රදේශ ආශ්‍රිත කඩොලාන ඝනත්වය වර්ධනය කර ඉවුරු ඛාදනය දිගුකාලීනව වළක්වා ගැනීම නාවික හමුදාව අපේක්‍ෂා කරයි.

එමෙන්ම, පුත්තලම කළපුවේ සහ ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ආපදාවට පත්වන ධීවර ප්‍රජාවට සහන සැළසීම සහ එම මුහුදු ප්‍රදේශය ඔස්සේ සිදුවන විවිධ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමේ ‍මෙහෙයුම් සිදුකිරීමේදී පුත්තලම නගරයට ආසන්නයෙන් නාවික හමුදා කුඩා යාත්‍රා නැවැත්වීමේ පහසුකම් නොමැති වීම එම කටයුතු කාර්යක්‍ෂමව සිදු කිරීමට බාධාවක්ව පැවතිණි. ඒ අනුව, එම අවශ්‍යතාවය සපුරාලමින් 2021 නොවැම්බර් මස 08 වන දින පුත්තලම නගරාසන්නයේ කළපු ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද නව ජැටිය විවෘත කිරීම ද 2021 දෙසැම්බර් මස 18 වන දින නාවික හමුදාධිපති ගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි.

දිගින් අඩි 93කින් සහ පළල අඩි 06කින් සමන්විත මෙම අභිනව ජැටිය මඟින් මුහුදේදී ආපදාවට පත්වන ධීවර ප්‍රජාව වෙත කඩිනමින් සහන සැලසීම සඳහා සිදුකෙරෙන නාවික හමුදා මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ මෙහෙයුම් වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීමට මෙන්ම, ඉදිරියේදී මෙම කළපු ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ද මහඟු පිටුවහලක් වනු ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවන් සඳහා පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කේජේ විජේසිරි මහතා, වයඹ පළාත් ප්‍රධාන ලේකම් පීබීඑම් සිරිසේන මහතා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදාධිපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් සුජීව සෙනවිරත්න ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ වයඹ නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මෙන්ම, පුත්තලම නගරාධිපති මොහොමඩ් රාෆික් මහතා, ලංකා සුළු ධීවර සම්මේලනයේ කඩොලාන සංරක්‍ෂණ අංශයෙහි අධ්‍යක්‍ෂ ඩග්ලස් තිසේරා මහතා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, පාසල් දරු දැරියන්, ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.