නාවික හමුදාව මඟින් නිෂ්පාදිත තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ‍භාර දෙයි

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම අද (2021 දෙසැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි.

තැලසීමියා රෝගී තත්ත්වය හේතුවෙන් ශරීරය තුළ එක්රැස් වන රුධිරයේ අඩංගු යකඩ ශරීරයෙන් ඉවත් කිරීම සඳහා මෙම තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර තැලිසීමියා රෝගීන් හට අත්‍යාවශ්‍ය වන අතර, වෙළඳපොලෙහි ඇති තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර මිළදීගැනීමේ හැකියාවක් නොමැති රෝගින් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් අඩු වියදමකින් මෙම යන්ත්‍ර නිශ්පාදනය කර රජයේ රෝහල් වෙත බෙදා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙනු ලබයි.

ඒ අනුව, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 23 ක් අද දින (2021 දෙසැම්බර් 15) නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම සිදු කෙරුණු අතර, එම යන්ත්‍ර භාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කේඒඩීඩීවීඑල් කුමාරපේලි මහත්මිය සහභාගී විය.

තවද, මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ මේ වන විට නාවික හමුදාව විසින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 2397 ක් නිෂ්පාදනය කර බෙදා දී ඇති අතර, අවශ්‍යතාවය අනුව මෙම යන්ත්‍ර ඉදිරියටත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවනු ලබයි.

නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නික්ෂේපණ යන්ත්‍ර නිල වශයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාර දීමේ අවස්ථාව සඳහා නාවික හමුදා වැඩබලන/ අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැළසුම් කපිතාන් නිමල් රණසිංහ ඇතුළු නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.