‘Compendium of Drug Seizures at Sea by Sri Lanka Navy’ ග්‍රන්ථ සංග්‍රහය එළි දැක්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මුහුදේදී සිදු කළ මහා පරිමාන මත් ද්‍රව්‍ය වැටලීම් අලලා ශ්‍රි ලංකා නාවික හමුදාවේ මුලිකත්වයෙන් සම්පාදනය කළ ‘Compendium of Drug Seizures at Sea by Sri Lanka Navy’ යන ග්‍රන්ථ සංග්‍රහයේ පළමු පිටපත අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිලිගැන්වීම අද (2021 දෙසැම්බර් 10) නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදා 71වන සංවත්සරයට සමගාමීව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් දෙපාර්තමේන්තුව මගින් මෙම ග්‍රන්ථය සම්පාදනය කෙරිණි. මාතෘභූමියේ පළමු ආරක්ෂක වළල්ල ලෙස ශ්‍රී ලංකාව වටා වූ සාගර කළාපයේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමට කැපවන ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට සාර්ථක මෙහෙයුම් අඛණ්ඩ දියත්කරනු ලබයි. ඒ අනුව, 2016 වර්ෂයේ සිට 2021 සැප්තැම්බර් මස දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව ගැඹුරු මුහුදේ සිදුකළ මහාපරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම්හි සංෂිප්ත වාර්තා අන්තර්ගත වන පරිදි සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ මෙහෙයුම් සඳහා දායකත්වය සපයන දේශීය හා විදේශීය පාර්ශ්වකරුවන් සඳහා පරිශීලන ග්‍රන්ථයක් වශයෙන් බෙදා හැරීමට සැලසුම්කර ඇත.

මෙම ග්‍රන්ථය නාවික හමුදාධිපති වෙත පිළිගැන්වීමේ අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කපිතාන් සාගර උදයංග යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වි සිටියහ.