පි 627 නෞකාව සියැටැල් හිදී 71 වන ශ්‍රී ලංකා නාවික හමුදා සංවත්සරය අභිමානවත්ව සමරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් පසු ගිය ඔක්තෝබර් මාසයේදී නිල වශයෙන් භාර දෙන ලද පී 627 නෞකාවේ නැව් මුළුව විසින් 2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදුන 71 වන ශ්‍රී ලංකා නාවික හමුදා සංවත්සරය ඇමෙරිකාවේ සියැටැල් හීදි අභිමානවත්ව සමරනු ලැබීය.

ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2021 ඔක්තෝබර් මස 26 වන දින නිල වශයෙන් භාර දීමෙන් අනතුරුව පී 627 වශයෙන් නම් කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නැව් මුළුව මේ වන විට ‘සියැටල්’ වෙරළාරක්‍ෂක කඳවුරට අනුයුක්තව පුහුණු කටයුතු සහ නෞකාව හා සම්බන්ධ අනෙකුත් නවීකරණ කටයුතු වල නියැලෙමින් සිටියි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත සාම්ප්‍රදායික නාවික හමුදා චාරිත්‍රයන්ට මෙන්ම ආගමික සහ සාමාජ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැඩසටහන් වලට මුල් තැන දෙමින් නෞකාවේ නම්කළ අණදෙන නිලධාරි කපිතාන් ලංකා දිසානායක ගේ මුලිකත්වයෙන් මෙම 71 වන නාවික හමුදා සංවත්සරය ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටැල් වරායේ දී අභිමානවත්ව සැමරීමට නැව් මුළුව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, 2021 දෙසැම්බර් මස 06 වන දින යුද්ධයේදී මිය ගිය සහ අබාධිතත්වයට පත් වූ විරෝධාර නාවික විරුවන් සිහිකරමින් සහ නාවික හමුදාධිපති ඇතුළු සියළුම නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්හට සෙත් පතා සියැටැල්හි පිහිටි ‘සරණ’ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මහා සංඝ රත්නය විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමට කටයුතු කෙරිණි. එමෙන්ම 2021 දෙසැම්බර් මස 09 වන සියැටැල්හි කතෝලික සමාජ සේවය මගින් පවත්වාගෙන යනු ලබන සුභසාධන ආයතනයක් වෙත දිවා ආහාරය පිරිනැමීමට ද කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා චාරිත්‍රානුකූලව පවත්වනු ලැබූ මංගල භෝජන සංග්‍රහය සඳහා සියැටැල් වෙරළාරක්‍ෂක කඳවුරේ අණදෙන නිලධාරි කපිතාන් ඊබ්‍රහිම් කලීල්, ඇතුළු ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාමාජිකයන් පිරිසක් ද පී 627 නෞකා නැව් මුළුව සමඟ එක්ව සිටියහ.

පී 627 නෞකාව මේ වන එහි සිදු කරන නවීකරණ කටයුතු සහ නැව් මුළුවේ පුහුණු වීම් නිමවීමෙන් පසු 2022 වසරේ මැද බාගයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බල ඇණිය හා එක්වීමට නියිමිතය.