71 වන නාවික හමුදා සංවත්සරයට සමගාමීව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය, කුරුණෑගල, පොල්පිතිගමදී ජනතා අයිතියට

ශ්‍රි ලංකා නාවික හමුදා 71 වන සංවත්සරයට සමගාමීව සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා මූල්‍ය දායකත්වයෙන්, කුරුණැගල දිස්ත්‍රික්කයේ, පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කෙට්ඨාසයට අයත් තෙළඹියාව ප්‍රාථිමික විද්‍යාල භුමියේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2021 දෙසැම්බර් මස 09 වන දින වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මහේන්ද්‍ර වීරරත්නගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ නාවික හමු‍දා 71 වන සංවත්සරයට සමගාමීව, සිදු කරන සමාජ සත්කාර්යයක පියවරක් වශයෙන් 2021 නොවැම්බර් මස 27 වන දින මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයහි ඉදිකිරිම් ආරම්භ කෙරිණි. නාවික හමුදාව මඟින් ඉදිකරන ලද 887 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදා මූල්‍යමය සහ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ නිම කරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මෙලෙස 2021 දෙසැම්බර් මස 09 වන දින ජනතා අයිතියට පත් කරන ලදී. මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මගින්, තෙළඹියාව ප්‍රාථමික විද්‍යාලයේ සහ අවට ගම්වාසීන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින්, තෙළඹියාව ප්‍රාථිමික විද්‍යාලයේ ගුරුබවතුන් සහ වයඹ නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයින් මෙන්ම ප්‍රදේශවාසීන් සීමිත පිරිසක් ද සහභාගීවී සිටියහ.