නාවික හමුදාධිපති ශිෂ්‍යභට බලකායට වසර 140ක් සපිරීම නිමිත්තෙන් ‘රණ දරුවෝ’ ග්‍රන්ථය එළි දැක්විමේ අවස්ථාව සඳහා සහභාගි වේ

ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යභට බලකායට සහ කොළඹ රාජකීය විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩයට වසර 140 ක් සපිරීම නිමිත්තෙන්, රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයේ හිටපු නිලධාරි අණදෙන සහ හිටපු නියෝජ්‍ය විදුහල්පති වරයෙකු වන කපිතාන් එම්එන් ධර්මරත්න මහතා විසින් රචිත ‘රණ දරුවෝ’ ග්‍රන්ථය එළි දැක්වීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2021 දෙසැම්බර් 08) කොළඹ රාජකීය විද්‍යාලයේදී සිදු කෙරිණි.

කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති වරයෙකු වූ ජේබී කල් (JB Cull) මහතා විසින් ශිෂ්‍යයන්ගේ විනය සකස් කිරීමේ අරමුණින් 1881 වර්ෂයේ දී ප්‍රථම වරට රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයක් ආරම්භ කර ඇති අතර, එය ශ්‍රී ලංකාවේ ශිෂ්‍යභට ව්‍යාපාරයේ ආරම්භය ලෙස ද සනිටුහන් වේ.

කපිතාන් එම්එන් ධර්මරත්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ වසර 25ක කාලයක් සේවය කර ඇති අතර, එම විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයේ පුහුණුවීම් සඳහා දායක වූ ඔහු, එම ශිෂ්‍යභට කණ්ඩයේ නිලධාරි අණදෙන ලෙස 1980, 1981, 1982 සහ 1984 යන වර්ෂයන්හි දී කොළඹ රාජකීය විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩයට හර්මන් ලූස් කුසලානය (Hermann Loos Trophy) සිව්වතාවක් ලබා ගැනීමට කටයුතු කළ දක්‍ෂ නිලධාරියෙකි.

තවද, ඔහු වෙතින් ශිෂ්‍යභට පුහුණුව ලද ආදි රාජකීය ශිෂ්‍යභටයින් පසුකාළිනව ත්‍රිවිධ හමුදාවේ විවිධ උසස් නිලතල හෙබවීමට සමත් වි ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ හිටපු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම හිටපු නාවික හමුදාධිපති වරයෙකු වන අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ද කපිතාන් එම්එන් ධර්මරත්න මහතා යටතේ ශිෂ්‍යභට පුහුණුව ලබා ඇත.

ඒ අනුව, මෙරට ශිෂ්‍යභට ව්‍යාපාරයට සහ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් කර, ජාතික ශිෂ්‍යභට බලකා ඉතිහාසය සබැඳි අත්දැකීම් ඇසුරෙන් කපිතාන් එම්එන් ධර්මරත්න මහතා විසින් රචිත ‘රණ දරුවෝ’ නම් ග්‍රන්ථය එළි දැක්වීම මෙලෙස නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද (2021 දෙසැම්බර් 08) කොළඹ රාජකීය විද්‍යාලයේදී සිදු කෙරිණි.

මෙහිදි අදහස් දැක් වූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යභට බලකා ඉතිහාසය තුළ මෙන්ම රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට ඉතිහාසය තුළ ඉතා කීර්තිමත් සන්නාමයක් වන කපිතාන් ධර්මරත්න ගේ ගුරුහරුකම් තුලින් පන්නරය ලද ආදි රාජකීය ශිෂ්‍යභටයෙකු ලෙස එතුමා වෙත ඉමහත් ගෞරවයක් ඇති බවත්, එතුමාගේ මෙහෙයවීම යටතේ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් ලද පුහුණුව සහ ගොඩනැඟුණු විනය හා ශික්‍ෂණය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති දක්වා පැමිණිමට මුලික අඩිතාලම වූ බවත් පවසන ලදී.

මෙහිදි, කපිතාන් එම්එන් ධර්මරත්න මහතා විසින් ‘රණ දරුවෝ’ ග්‍රන්ථයේ පිටපතක් නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කරන ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් කපිතාන් එම්එන් ධර්මරත්න මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමට ද කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, හිටපු නාවික හමුදාධිපති වරුන් වන අද්මිරාල් තිසර සමරසිංහ සහ අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති එම්විඑස් ගුණතිලක මහතා ඇතුළු එම විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ පිරිසක් මෙන්ම ආදි රාජකීය විද්‍යාලීය ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් පිරිසක් ද සහභාගි වි සිටියහ.