71 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී ආගමික වැඩසටහනක්

2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ මුස්ලිම් ආගමික වැඩසටහන අද (2021 ‍දෙසැම්බර් 02) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාව ආරම්භ කරමින්, බෞද්ධ ආගමික වැඩසටහන් යටතේ කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී 2021 නොවැම්බර් මස 11 සහ 12 දෙදින තුලදී පවත්වන ලදී. එසේම ක්‍රිස්තියානි දේව මෙහෙය නොවැම්බර් 23 වන දින කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේදීත්, හින්දු ආගමික වැඩසටහන 2021 ‍දෙසැම්බර් 01 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදීත් පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව නාවික හමුදාවට අශිර්වාද පතා අද (2021 ‍දෙසැම්බර් 02) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී අම්හර් හකම්ඩීන් මව්ලවිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මුස්ලිම් ආගමික වැඩසටහන මඟින්, රට වෙනුවෙන් දිවිපිදු සහ අබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවන්හට මෙන්ම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ත නාවික හමුදාවටත් 71 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම මුස්ලිම් ආගමික වැඩසටහන සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත්, රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න, අධ්‍යක්‍ෂ නාවික සුභසාධක කොමදෝරු නිශාන්ත අමරෝස, ශ්‍රි ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් කැළුම් මාරඹගේ ඇතුළු බටහිර නාවික විධානයේ සහ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත නාවික පුද්ගලයන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.