71 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්

2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ හින්දු ආගමික වැඩසටහන අද දින (2021 ‍දෙසැම්බර් 01) කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාව ආරම්භ කරමින්, බෞද්ධ ආගමික වැඩසටහන් යටතේ කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී 2021 නොවැම්බර් මස 11 සහ 12 දෙදින තුලදී පවත්වන ලද අතර, ක්‍රිස්තියානි දේව මෙහෙය නොවැම්බර් 23 වන දින කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේදී පවත්වන ලදී.

ඒ අනුව නාවික හමුදාවට අශිර්වාද පතා අද පස්වරුවේ (2021 ‍දෙසැම්බර් 01) කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී පැවති හින්දු ආගමික වැඩසටහන මඟින්, රට වෙනුවෙන් දිවිපිදු සහ අබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවන්හට මෙන්ම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ත නාවික හමුදාවටත් 71 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම හින්දු ආගමික වැඩසටහන සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න, අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රියෙන්සි ෆොන්සේකා, ශ්‍රි ලංකා නාවික නෞකා රංගල ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් රොහාන් ජෝශප්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික අවි කපිතාන් රොෂාන් මුදලිගම ඇතුළු බටහිර නාවික විධානයේ සහ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත නාවික පුද්ගලයන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.