‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි සැමරුම - 2021’ විහාර මහාදේවි උද්‍යාන රණවිරු ස්මාරකය අභියසදී

මාතෘභූමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ ‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි සැමරුම 2021’ ප්‍රධාන සැමරුම් උත්සවය අද (2021 නොවැම්බර් මස 14) කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්වුනු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හි දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම උදෙසා රණවිරුවන් අනුස්මරණය කිරීම ආරම්භ වී ඇති අතර, වර්තමානයේදී මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් සෑම වර්ෂයකම නොවැම්බර් මාසයේදී රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහන සංවිධානය කරනු ලබයි.

ඒ අනුව, ශ්‍රි ලංකා සේවා මුක්ත භට සංගමය විසින් කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සංවිධානය කරනු ලැබූ මෙම රණවිරු අනුස්මරණ උත්සවයේදී, මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල වීරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පැවැත්විමෙන් අනතුරුව, ආරක්‍ෂක ලේකම්, විදේශ අමාත්‍යංශයේ ලේකම්, නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් විසින් මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදී.

මාතෘ භූමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ අප සැමගේ පරම යුතුකම ඉටුකරමින් දිවිපිදු සහෘද රණවිරුවන් කෘතවේදීව සිහිපත් කරමින් මෙම අභිමානවත් රණවිරු අනුස්මරණ උළෙල නිමාවට පත්විය.

තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කෙරුණු රණවිරුවන් අනුස්මරණය කිරීමේ ප්‍රධාන උත්සවය සඳහා විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්‍ය ජයනාත් කොළඹගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, විශ්‍රාමික ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ඇතුළු විශ්‍රාමික ජ්‍යේෂඨ ත්‍රිවිධ හමුදා නිලධාරින්, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වී සිටියහ.

එමෙන්ම, රණවිරුවන් අනුස්මරණය කිරීමේ ප්‍රධාන උත්සවයට සමගාමීව, නාවික හමුදා මූලස්ථානයේ පැවති රණවිරුවන් අනුස්මරණය කිරීමේ උළෙල නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, අනෙකුත් සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි පවත්වන ලද රණවිරු අනුස්මරණය කෙරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සියළුම නෞකා සහ ආයතන නියෝජනය කරමින් නාවික පුද්ගලයන් සහභාගී වී සිටියහ.


නාවික හමුදා මුලස්ථානය


බටහිර නාවික විධානය


නැගෙනහිර නාවික විධානය


උතුරු නාවික විධානය


උතුරු මැද නාවික විධානය


වයඹ නාවික විධානය


දකුණු නාවික විධානය


ගිණිකොන නාවික විධානය