නව ශ්‍රී ලංකා වාර්තා 02ක් පිහිටවූ ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාවට නාවික හමුදාධිපතිගෙන් උසස්වීමක්

කාන්තා මීටර් 1500 සහ මීටර් 5000 මළල ක්‍රීඩා ඉසව්වන්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවා ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල කීර්තියක් ගෙනදුන් නාවික හමුදා සේවයෙහි නියුතු නායක කාන්තා නැවි ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව දිරිගැන්වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඇය අද දින සිට (2021 නොවැම්බර් 02) කාන්තා සුළු නිලධාරී තරාතිරම දක්වා උසස් කිරීමට කටයුතු කෙරිණි.

2021 ඔක්තෝබර් 30 සහ 31 දිනයන්හීදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ‍පැවැත් වූ 99 වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී, මිටර් 1500 කාන්තා ධාවන ඉසව්ව විනාඩි 4 තත්පර 9.12 කින් (4:9.12) සහ මිටර 5000 කාන්තා ධාවන ඉසව්ව විනාඩි 15 තත්පර 55.84 කින් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින්, නව ශ්‍රි ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව සමත් විය.

ඒ අනුව, අද (2021 නොවැම්බර් 02) නාවික හමුදා මුලස්ථානයේදී ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව සහ ඇයගේ පුහුණුකරු වන ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ අධ්‍යක්‍ෂ, ජිඑල් සජිත් ජයලාල් මහතා නාවික හමුදාධිපති හා නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය. වසර ගණනාවක් ඉතාමත් කැපවීමෙන් සහ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදර්ශයක් ගෙනදෙමින් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිට වූ ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාවගේ කැපවීම සහ හැකියාව නාවික හමුදාධිපති විසින් මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක් කරන ලද අතර, මව්බිමට ඉදිරියේ දී තවත් ජයග්‍රහණ රැසක් අත්කර දීමට ඇයව දිරිමත් කරමින් අද (2021 නොවැම්බර් 02) සිට ඇය කාන්තා සුළු නිලධාරි තරාතිරම දක්වා මෙලෙස උසස් කිරීමට කටයුතු කෙරිණි.

2010 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට බැදී ඇති කාන්තා සුළු නිලධාරි ගයන්තිකා අබේරත්න, 2017 වර්ෂයේ තායිපේ හිදී පැවති තායිපේ සිටි ආසියානු ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේදී මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කමද, 2017 වර්ෂයේ ඉන්දියාවේදී පැවති ආසියානු ශුරතාවලියේදී මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් රිදී පදක්කමද, 2018 වර්ෂයේ ජකර්තා නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් සහ එම ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමද, දිනාගනිමින් නාවික හමුදාවට මෙන්ම මව්බිමට විශාල ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩිකාවකි. එමෙන්ම, නාවික හමුදා මළල ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් ඇය දැක්වූ විශිෂ්ඨ දක්‍ෂතා අගයමින් 2021 වර්ෂයේ පැවති නාවික හමුදා වර්ණ ප්‍රධාන උත්සවයේ දී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ද ගයන්තිකා අබේරත්න විසින් හිමි කර ගන්නා ලදී.

තවද, නාවික හමුදාවේ අභිමානය ඉහළ නංවමින් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව පුහුණු කරවීමට කැප වීමෙන් කටයුතු කළ ඇයගේ පුහුණුකරු වන ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ අධ්‍යක්‍ෂ, ජිඑල් සජිත් ජයලාල් මහතා සිදු කළ දායකත්වය මෙහිදි ඇගයීමට ලක් කළ නාවික හමුදාධිපති ඔහු වෙත විශේෂ තිළිණයක් ප්‍රධානය කිරීමද සිදු කෙරිණි.