නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ අම්පාර හුලංන්නුගේ විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට

නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි හුලංන්නුගේ විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කිරීම 2021 ඔක්තෝබර් මස 18 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව සෑම නාවික විධානයක් තුළම අඩු පහසුකම් සහිත පාසල් සංවර්ධනය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ගිනිකොන නාවික විධානය මඟින් අම්පාර හුලංන්නුගේ විද්‍යාලයේ පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු 2021 අප්‍රේල් මස 19 වන දින ආරම්භ කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා පුද්ගලයන් සිය මාසික වේතනයෙන් ස්ව කැමැත්තෙන් පරිත්‍යාග කරන ලද මූල්‍ය දායකත්වයෙන් සහ ගිනිකොන නාවික විධානයේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන්, මෙම විද්‍යාලයේ පහසුකම් රැසක් සංවර්ධනය කරන ලදී.

මෙම විද්‍යාලයේ සියළුම ගොඩනැඟිලි අළුත්වැඩියා කර තීන්න ආලේප කිරීම, පාසලේ ඉගැන්වීම් කටයුතු කරනු ලබන ගුරුවරුන්ගේ නවාතැන් පහසුකම් සඳහා අභිනව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම, සිසු දරුවන්ට ආරක්‍ෂිතව ක්‍රීඩා කටයුතු සිදුකිරීම සඳහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු සිදු කිරීම, සිසු දරුවන්ගේ සනීපාරක්‍ෂක පහසුකම් සංවර්ධනය කිරීම, විද්‍යාලයේ පරිඝණක ඒකකය අළුත්වැඩියා කර එහි පහසුකම් සංවර්ධනය කිරීම, සිසු දරුවන් භාවිතා කරනු ලබන සියළුම මේස සහ පුටු අළුත්වැඩියා කිරීම මෙන්ම විද්‍යාලයේ පිවිසුම් දොරටුව සහ සිසු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කර දීම උදෙසා විද්‍යාල භූමියේ අලංකරණ කටයුතු ඉතා ආකර්ශනීය ලෙස නිම කිරීමද නාවික හමුදා දායකත්වයෙන් සිදු කරන ලදී.

එමෙන්ම, නාවික හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් පහසුකම් අඩු පාසල් සංවර්ධනය කිරීමේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර, උතුර, වයඹ සහ බටහිර නාවික විධානයන් මඟින් සංවර්ධනය කරන ලද පාසල් මේ වන විට සිසු අයිතියට පත් කර ඇති අතර, ඉදිරියේදී අනෙකුත් නාවික විධාන මඟින් සංවර්ධනය කෙරෙමින් පවතින අඩු පහසුකම් සහිත තවත් පාසල් සිසු අයිතියට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කෙරෙමින් පවතී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති අම්පාර හුලංන්නුගේ විද්‍යාලයේ සංවර්ධනය කරන ලද පහසුකම් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා ගිනිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අසංග රණසූරිය, ශ්‍රීලංනානෞ මහානාග ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් රන්දික සිල්වා, එම විද්‍යාලයේ ප්‍රධාන ආචාර්යතුමන් වන ජේඑම් ප්‍රභාත් මහතා ඇතුළු ගුරු භවතුන් සහ සිසු දරුවන් සීමිත පිරිසක් මෙන්ම ගිණිකොන නාවික විධානයේ නාවික පුද්ගලයන් සීමිත පිරිසක් ද සහභාගී වී සිටියහ.