දීඝවාපිය රජමහා විහාරයේ ඉදිකිරීමට යෝජිත නව විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීම ආරකෂක ලේකම්ගේ ප්‍රදානත්වයෙන්

‍ෙඑතිහාසික දීඝවාපිය රජමහා විහාර සංවර්ධන සැලැස්මට සමගාමීව විහාර භූමිය තුළ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමට යෝජිත නව විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීම 2021 ඔක්තෝබර් මස 15 වන දින ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ගේ ප්‍රදානත්වයෙන් එම විහාර පරිශ්‍රයේදී සිදු කෙරිණි..

දීඝවාපිය රජමහා විහාරය වන්දනා මාන කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් නවාතැන් පහසුකම් ලබාදීම සඳහා දීඝවාපිය අරුණ පදනමේ මුල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රි ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් මෙම විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල ඉදිකිරීමට නියමිතව ඇත. තවද මෙහි ඉදිකිරීම් එළඹෙන වර්ෂයේ (2022) අගෝස්තු මාසයේදී අවසන් කිරීමට සැළසුම් කර ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම විශ්‍රාම ශාලා ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට මහා ඔය සෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ, එම විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අසංක රණසූරිය, රජයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු ගිණිකොන නාවික විධානයේ නිලධාරින් සහ නාවිකයින් සීමිත රිසක් සහභාගී වී සිටියහ.