වැලිසර, නාවික මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකළ සිව් මහල් බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කෙරේ

වැලිසර, නාවික මහරෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ සිව් මහල් බහුකාර්ය ගොඩනැඟිල්ල අද (2021 ඔක්තෝබර් 14) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරිණි.

වැලිසර, නාවික මහරෝහලේ යටිතල පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ඉදිකළ මෙම සිව් මහල් ගොඩනැඟිල්ලේ පළමු මහළ ගබඩා පහසුකම් සඳහාත්, දෙවන මහළ එම රෝහලේ පරිපාලන කටයුතු සඳහාත්, තෙවන මහළ සහ සිව්වන මහළ නාවික හමුදා හෙද කාර්යමණ්ඩල පුහුණු කිරීමේ පාසල සඳහාත් වෙන් කොට ඇත. ඒ අනුව මෙම නව සිව් මහල් ගොඩනැඟිල්ල විවෘත කිරීම මඟින් වැලිසර නාවික හමුදා රෝහලේ පුළුල් වන යටිතල පහසුකම් තුලින් නාවික හමුදා හෙද නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු සහ නාවික මහ රෝහල වෙතින් නාවික හමුදා සාමජිකයින් හට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ලබා දෙනු ලබන සේවාවන් වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීමට අවස්තාව හිමිවනු ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම සිව් මහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති හා ස්වේච්චා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ වැලිසර නාවික සංකීර්ණයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගීවී සිටියහ.