'JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත් වේ

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත්වූ “JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය අද(2021 ඔක්තෝබර් 04)බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත්විය.

2021 ඔක්තෝබර් මස 02 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ‘KAGA’ නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘සාගර’ නෞකාව මෙම “JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා සහභාගී වූ අතර, එමඟින් දෙරටේ සබඳතාවය සහ සහයෝගීතාවය වර්ධනය කිරීම මෙන්ම ආපදා සහන මෙහෙ‍යුම් සිදු කිරීමේදී ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර ද්වීපාර්ශවික සහයෝගීත්වය වර්ධනය කිරීම අපේක්‍ෂා කරන ලදී.

ඒ අනුව, මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය තුළදී සෙවීම් සහ මුදවා ගැනීම් (SAR), නෞකා පෙළ හැඩ ගමන් කිරීම (DIVTACS), නෞකා අතර දුර පවත්වාගෙන යාම (SKBDL), නෞකා පෙළ ගුවන් ඡායාරූපකරණය (PHOTOEX) ඇතුළු නාවික අභ්‍යාසයන් සිදු කරන ලද අතර, ඒ සඳහා ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායේ ‘KAGA’නෞකාවට අයත් H 60 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද සහභාගී විය.

“JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් අද (2021 ඔක්තෝබර් 04)දිවයිනෙන් පිටත් වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ‘KAGA’ සහ ‘MURASAME’ නෞකාවන් වෙත නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහිදී ආචාර දැක්වීම ද සිදු කෙරිණි.