ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නාවික හමුදා සේවයට සමුදෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අනුයුක්තව සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දශක හතරකට ආසන්න කාලයක් සමුද්‍රීය ආවේක්‍ෂණ නෞකාවක් ලෙස අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් 2021 සැප්තැම්බර් මස 30 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී සිදුකෙරිණි.

කොළඹ නැව් තඨාකාංගනයේදී නිෂ්පාදනය කරන ලද මෙම නෞකාව රියර් අද්මිරාල් ඒඑච්ඒ ද සිල්වා නාවික හමුදාධිපති ලෙස කටයුතු කළ වකාවනුවේදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ ලෙස (පී 601) 1983 දෙසැම්බර් 09 වන දින අධිකාරියට පත්කරන ලද අතර, එහි පළමු අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ඒඅයි ජයවර්ධන කටයුතු කරන ලදී. 1990 දශකයේ අග භාගය දක්වා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයේ ධජ නෞකාව ලෙසද කටයුතු කරන ලද ‘ජයසාගර’ නෞකාව, එල්ටීටීඊ ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීමේ මානුෂීය මෙහෙයුම සඳහා ද සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ලදී. එමෙන්ම 1983 වර්ෂයේදීම ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්වූ ‘ජයසාගර’ පන්තියට අයත් අනෙක් නෞකාව වන ශ්‍රීලංනානෞ ‘සාගරවර්ධන’ නෞකාවද (පී 602) සාගරික ආරක්‍ෂාව වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදුන් අතර, එම නෞකාව 1994 සැප්තැම්බර් 19 වන දින මන්නාරම දකුණු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටියදී සිදුවූ එල්ටීටීඊයේ මරාගෙන මැරෙන යාත්‍රා ප්‍රහාරයක් හේතුවෙන් මුහුදුබත් විය.

1990 වර්ෂයේදී මන්නාරම දූපතේ අවතැන්වූ සිවිල් ජනතාව ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා දියත්කළ ‘රණදෙරණ’ ක්‍රියාන්විතයට දායක වූ ‘ජයසාගර’ නෞකාව, මුහුදු ත්‍රස්ත ක්‍රියාකාරකම් හමුවේ උතුර හා දකුණ අතර මුහුදු සංචරණ කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ආරක්‍ෂාව සැපයීම වෙනුවෙන් සිදුකළ මෙහෙයුම් සඳහාද දායකත්වය ලබා දෙන ලදී. එමෙන්ම, මෙරට සාගර කළාපයේ ‍‍සිදුවන අනවසර ධීවර කටයුතු මැඩපවත්වා ධීවර හා සාගරික සම්පත් ආරක්‍ෂා කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ජාවාරම, තහනම් භාණ්ඩ ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමේ සාගරික මෙහෙයුම් සහ මෙරට සාගරික මුදවා ගැනීම් කළාපය තුළ ආපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාවට සහන සැළසීමේ මෙහෙයුම් සඳහා ද ‘ජයසාගර’ නෞකාව දශක හතරකට ආසන්න කාලයක් දායකත්වය ලබා දෙන ලදී.

1990 වර්ෂයේ මැලේසියාවේ පැවති ජාත්‍යන්තර නෞකා දැක්ම සඳහා සහ 1999 වර්ෂයේ ඉන්දියාවේ අන්දමන් සහ නිකෝබාර් දූපත්හි පැවති මිලාන් නාවික අභ්‍යාසය ඇතුළු නාවික අභ්‍යාසයන් සඳහා ‘ජයසාගර’ නෞකාව සහභාගී වී ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක් පුහුණු කිරීම සඳහාද මෙම නෞකාව සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇති අතර, වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මූලික පුහුණුවෙන් පසුව සිය පළමු පත්වීම ලෙස ‘ජයසාගර’ නෞකාව වෙත අනුයුක්තව රාජකාරි සිදුකර ඇත.

නෞකාවක් අධිකාරියට පත්කිරීම මෙන්ම අධිකාරියෙන් ඉවත් කිරීමද නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සිදුවන සුවිශේෂී කාර්යයකි. ‘ජයසාගර’ නෞකාව අධිකාරියෙන් ඉවත් කිරීමෙන් පසු නෞකාවේ දිගට සමාන වන ලෙස සකස් කරන ලද එම නෞකාව අධිකාරියට පත් කිරීමේ ධජය (Commissioning Pennant) සංකේතවත් කරනු ලබන Paying off Pennant ධජය නැව් මුළුවේ සාමාජිකයින් ගණනට සමාන කොටස් වලට වෙන් කොට නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නෞකාවේ නැව් මුළුව වෙත ලබා දීම, මෙම අධිකාරියෙන් ඉවත් කිරීමේ අවස්ථාවේ අවසන් අංගය ලෙස සනිටුහන් විය. නාවික හමුදාවේ කාර්ය සහ කර්තව්‍ය ඉටුකිරීම සඳහා සිදුකළ ‍මෙහෙයුම් වෙනුවෙන් දශක හතරකට ආසන්න කාලයක් අභිමානවත් සේවයක් ඉටුකළ ‘ජයසාගර’ නෞකාව නාවික සේවයට සමුදීමෙන් අනතුරුව තවදුරටත් මව්බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව ඇත.

නාවික හමුදාධිපතිගේ ආරාධනයෙන් මෙම අවස්ථාව සඳහා ‘ජයසාගර’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස 1984 මැයි මස 29 සිට 1985 ජනවාරි මස 19 දක්වා කටයුතු කළ රියර් අද්මිරාල් (විශ්‍රාමික) ඩීකේ දසනායක ජ්‍යේෂ්ඨ නිලධාරියා සහ එම මැතිණිය විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සහ රියර් අද්මිරාල් (විශ්‍රාමික) ඩීකේ දසනායක ජ්‍යේෂ්ඨ නිලධාරියා වෙත සමරු තිළිණ ප්‍රධානය කිරීමට ද මෙහිදී කටයුතු කෙ‍රිණි.

තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වන ලද ‘ජයසාගර’ නෞකාව අධිකාරියෙන් ඉවත් කිරීමේ අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ, ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් සජිත් ගමගේ, ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් නිලන්ත කුරුකුලසූරිය, නාවික හමුදා මූලස්ථානයේ හා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නිලධාරීන් ඇතුළු සීමිත නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.