මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් පිළිබඳ පාඨමාළාවන්ගේ සහතිකපත් ප්‍රධානය ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී

මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදු කරනු ලබන නාවික පුද්ගලයින් සඳහා ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද පාඨමාලාවන්ගේ (Counter Narcotics Boarding Officer Course/ Advanced Boarding Officer Course) සහතිකපත් ප්‍රදානය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්ගේ ප්‍රධානත්වයෙන් 2021 සැප්තැම්බර් 22 වන දින එම මූලස්ථානයේදී සිදු කෙරිණි.

ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක බලකායේ ජංගම පුහුණු කණ්ඩායමක් විසින් 2021 අගෝස්තු මස 30 සිට සැප්තැම්බර් මස 22 ‍දක්වා ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද මෙම පාඨමාලාවන් සඳහා නාවික දියත් විධානය, 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණය සහ විශේෂ යාත්‍රා බලඝනය නියෝජනය කරමින් නාවික පුද්ගලයින් 21 දෙනෙකු සහභාගී විය.

ඒ අනුව, ‘Counter Narcotics Boarding Officer’ පාඨමාලාව මඟින් මත්ද්‍රව්‍ය නිවාරණය, යාත්‍රාවන්ට ප්‍රවිශ්ඨ වීම සහ සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන්, මුහුදේ නීතිය ක්‍රියාත්මක කිරීම, බලය යෙදීම සහ ආරක්ෂක ශිල්පීය ක්‍රමෝපායන් පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් ලබා දීම අපේක්‍ෂා කරන ලදී. එමෙන්ම ‘Advanced Boarding Officer’ පාඨමාලාව මඟින් කාමර නිෂ්කාශනය කිරීම, වාර්තා ලිවීම, විනිශ්චය පුහුණුව, හුදකලා කිරීමේ ක්‍රමවේදයන් සහ මුහුදු අවකාශය පිළිබඳ වගවීම වැනි ප්‍රායෝගික විෂයන් පිලිබඳ පුහුණුවක් ලබා දීම අපේක්‍ෂා කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වන ලද මෙම සහතිකපත් ප්‍රධානය කිරීමේ අවස්ථාව සඳහා 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී කපිතාන් රාජප්‍රිය සේරසිංහ, විශේෂ යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරී කපිතාන් නිස්සංක වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සීමිත පිරිසක් සහභාගීවී සිටියහ.