ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත් වූ 24 වන ජාත්‍යන්තර සමුද්‍රීය ආධිපත්‍ය සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති නැවත පැමිණේ

ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ නිව්පෝර්ට් නගරයේ පිහිටි ඇමෙරිකානු නාවික සංග්‍රාමික පාසලේදී 2021 සැප්තැම්බර් මස 14 වන දින සිට 17 වන දින දක්වා පැවැත් වූ ඇමෙරිකානු නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුද්‍රීය ආධිපත්‍ය සමුළුවෙහි (International Seapower Symposium) 24 වන සැසි වාරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

1969 වර්ෂයේදී ඇමරිකාවේ නිව්පෝර්ට් නගරයේ දී ප්‍රථම වරට ආරම්භ වූ මෙම ජාත්‍යන්තර සමුද්‍රීය ආධිපත්‍ය සමුළුවෙහි 2021 වර්ෂයේ පැවැත් වූ 24 වන සැසි වාරයේ තේමාව ‘සමඟියෙන් ශක්තිමත්ව’ (‘Strength in Unity’) යන්න වේ. මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා ලේකම් ගරු කාලෝස් ‍ ඩෙල් ටෝරෝ (Carlos Del Toro) මහතා සහභාගී වූ අතර, සමුළුව සඳහා රටවල් 100කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක ප්‍රධානීන් සහභාගීවී සිටියහ.

සමුද්‍රීය ආරක්‍ෂාව සහ සහයෝගීතා මෙහෙයුම් වැඩි දියුණු කිරීම උදෙසා ලෝකයේ විවිධ රටවල නාවික ප්‍රධානීන් විශාල පිරිසක් එකම ස්ථානයක රැස්වී අදහස් හුවමාරු කර ගැනීම තුළින් පොදු අභියෝග ජය ගැනීම සඳහා අවස්ථාව උදාකර දීම මෙම ජාත්‍යන්තර සමුද්‍රීය ආධිපත්‍ය සමුළුවෙහි ප්‍රධානතම අරමුණ වේ. මෙම සමුළුව මඟින් මුහුදු කොල්ලකෑම් වැළැක්වීම, ආපදා සහන සහ මානුෂීය ආධාර සැපයීම, සාගරික සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණය කිරීම, ඒකාබද්ධ හමුදා මෙහෙයුම් සැලසුම් කිරීම සහ මෙහෙයවීම, ආයුධ, මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරමට එරෙහිව ඒකාබද්ධ නීතිය බලාත්මක කිරීම, නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සහ සමුද්‍රීය දුෂණය වැළැක්වීම යන කරුණු සම්බන්ධයෙන් නාවික ප්‍රධානින් අතර, අදහස් හුවමාරු කර ගැනීම‍ සඳහා සුදුසු වේදිකාවක් නිර්මාණය කරනු ලබයි.

මෙම සැසි වාරය අතරතුර නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් මිචෙල් ගිල්ඩේ (Admiral Michael Gilday) අතර හමුවක් පැවැත්විණි. එහිදී ඇමෙරිකානු නාවික හමුදා ප්‍රධානී විසින්, ඔහුගේ ආරාධනය පිළිගෙන මෙම සමුළුවට සහභාගීවීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති වෙත සිය ස්තුතිය ඵල කරන ලදී. එමෙන්ම රටවල් 100කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නාවික ප්‍රධානීන්, වෙරළාරක්‍ෂක ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නායකයින් සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් වූ සහයෝගීත්ව උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා රැස්වීමේ වැදගත්කම ඇමෙරිකානු නාවික හමුදා ප්‍රධානී විසින් මෙහිදී අවධාරණය කරන ලදී.

එමෙන්ම මෙම සැසි වාරය අතරතුර නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද්විපාර්ශවික හමුවන් කිහිපයකට ද සහභාගී විය. ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක බලකායේ ආඥාපති අද්මිරාල් කාල් එල් ස්ෂල්ට්ස් (Admiral Karl L. Shultz) අතර පැවති ද්විපාර්ශවික හමුවේදී ඇමෙරිකානු වෙරළාරක්‍ෂක බලකාය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත නොමිලේ ලබා දෙන තෙවන නෞකාව ලෙස වෙරළාරක්‍ෂක නෞකාවක් පැවරීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙරළාරක්‍ෂක ප්‍රධානී වෙත සිය ස්තුතිය ඵල කිරීමට කටයුතු කරන ලද අතර, මීට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දුන් නෞකා ද්විත්වයෙහි මෙහෙයුම් කාර්යක්‍ෂම තාවය ඇගයීමට ද ලක්කරන ලදී. ඇමෙරිකානු වෙරළාරක්‍ෂක බලකාය වෙතින් පවරනු ලබන තුන්වන වෙරළාරක්‍ෂක නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර, මීට පෙර ඇමෙරිකානු වෙරළාරක්‍ෂක බලකාය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරු සමුදුර නෞකාව මඟින් පසුගිය දා ගැඹුරු මුහුදේ සිදු කළ සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම සම්බන්ධයෙන් ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ආඥාපති නාවික හමුදාධිපති වෙත මෙහිදී සුභ පැතීමටද කටයුතු කෙරිණි. එමෙන්ම ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දේපාර්තමේන්තුවේ මෙහෙයුම් ධාරිතාවය පුළුල් කිරිම සඳහා සහය විය හැකි මාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී දෙපාර්ශ්වය විසින් සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහ ඇමෙරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාප නෞකා සමුහයේ අණදෙන නිලධාරී අද්මීරාල් සැමු‍එල් ජේ.පැපරෝ (Samuel J. Paparo) අතර පැවති ද්විපාර්ශ්වික හමුවේ දී අදහස් දැක් වූ අද්මිරාල් සැමු‍එල් ජේ.පැපරෝ, දෙරටේ නාවික හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම සඳහා CARAT 2021 වැනි නාවික අභ්‍යාස තුළින් සැමවිටම අවස්ථාව උදාකර ගත යුතු බවත්, එවැනි අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන දැනුම අන්‍යෝන්‍ය සුභසිද්ධිය සඳහා සැමවිටම ඉවහල් වන බවත් පවසන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් කරම්බීර් සිං (Admiral Karambir Singh) අතර පැවැති ද්විපාර්ශ්වික හමුවේදී, ඉන්දියානු සාගරය ඔස්සේ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් අදහස් හුවමාරුවක් සිදු කෙරිණි. එහිදී ඉන්දියානු සාගරය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා ඉන්දීයාව, ශ්‍රී ලංකාව සහ අසල්වැසි රටවල නාවික හමුදාවන් අතර සැලැස්මක් ගොඩනැගීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර වැඩි දුරටත් අදහස් හුවමාරු කර ගන්නා ලදී. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගුවන් ඒකකයක් ගොඩනැඟිම සඳහා අවශ්‍ය පුහුණු පහසුකම් සහ ඒ සම්බන්ධ ප්‍රවීණත්වය ඉන්දීය නාවික හමුදාව මඟින් ලබා දෙන බව ද ඉන්දීය නාවික හමුදා ප්‍රධානී විසින් මෙහිදී පවසන ලදී. එමෙන්ම එළඹෙන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘GOA Conclave’ සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන ලෙස ද ඉන්දීය නාවික හමුදා ප්‍රධානී විසින් නාවික හමුදාධිපති වයිස් අද්මීරාල් නිශාන්ත උළුගේතැන්න වෙත මෙහිදී ආරාධනය කර සිටින ලදී.

මෙම සමුළුව අතරතුර පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මොහොමඩ් අම්ජාඩ් කාන් නියාසි (Admiral Mohammed Amjad Khan Niazi) අතර පැවැති ද්විපාර්ශ්වික හමුවේදී දෙරටේ නාවික හමුදාවන් අතර අන්‍යෝන්‍ය සුභසිද්ධිය සඳහා එකිනෙකාට සහය වීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදී. පාකිස්ථානු නාවික හමුදාව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් සඳහා නොමිලේ පුහුණු පහසුකම් අඛණ්ඩව ලබා දෙනු ලබන අතර, විශේෂයෙන් අවිධිමත් පාඨමාලාවන් සඳහාද පුහුණු පහසුකම් ලබා දෙනු ලබයි. මෙහිදී පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී විසින් ඔහු අවසන් වරට ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේ දී ත්‍රිකුණාමලය වරායට පැමිණි අවස්ථාව සිහිපත් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව පකිස්ථානු නාවික හමුදාව විසින් සංවිධානය කළ බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයක් සඳහා නොබෝදා සහභාගී වීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය ඵල කිරීමට ද කටයුතු කෙරිණි.

කලාපීය හා කලාපීය නොවන රාජ්‍යයන්ට අයත් නාවික හමුදා ප්‍රධානීන් සහභාගී වන මෙවැනි සුවිශේෂී ජාත්‍යන්තර සාගරික සමුළු සඳහා සහභාගි වීම මඟින් වැඩිදියුණු වන අන්‍යෝන්‍ය සහයොගීත්වය සහ ජාත්‍යන්තර සබඳතා තුළින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනාගත සුභසිද්ධිය සඳහා ප්‍රතිලාභ රැසක් ඉදිරියේදී උදාකර දීමට අවස්ථාව සැලසෙනු ඇත.