නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජගත් ප්‍රේමරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් ජගත් ප්‍රේමරත්න සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 සැප්තැම්බර් 16) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න නියෝජනය කරමින්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් ජගත් ප්‍රේමරත්න වෙත උපන් දින සුභපැතුම් එක් කරන ලදී. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාර පුද ‍කිරීමෙන් අනතුරුව සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ‍එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදී.

1988 වර්ෂයේදී 18 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ජගත් ප්‍රේමරත්න, තම සේවා කාලය තුළ විවිධ නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇති අතර, නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික බුද්ධි, අධ්‍යක්‍ෂ ක්‍රීඩා, උතුරු නාවික විධානයෙහි නියෝජ්‍ය ආඥාපති, ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.