ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර හතර වන වරට පැවති මාණ්ඩලික සාකච්ඡා වාරය සාර්ථකව අවසන් වේ.

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර හතර වන වරට සංවිධානය කරන ලද මාණ්ඩලික සාකච්ඡා වාරය 2021 සැප්තැම්බර් 07 සහ 08 දිනයන්හීදී පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පිහිටි පාකිස්තානු නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡා වාරය සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යක්‍ෂ නාවික (මෙහෙයුම්) කොමදෝරු එම්එච්එන් පිරිස්, අධ්‍යක්‍ෂ නාවික (පුහුණු) කොමදෝරු එම්එස්කේ මහවත්ත ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරි පිරිසක් සහභාගී වූ අතර, පකිස්ථානු නාවික හමුදාව නියෝජනය කරමින් පකිස්ථානු නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (මෙහෙයුම්) රියර් අද්මිරාල් ජාවයිඩ් ඉක්බාල් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය.

ඒ අනුව මෙවර සාකච්ඡා වාරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව හා පාකිස්ථානු නාවික හමුදාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම, පුහුණුවීම්, ඒකාබද්ධ අභ්‍යාස, වෘත්තීය දැනුම හුවමාරුව, සයිබර් ආරක්‍ෂාව සහ පර්යේෂණ හා සංවර්ධන වැනි විෂයයන් සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී.

තවද, ‍හතර වන වරට පැවති දෙරටේ නාවික හමුදාවන් අතර මාණ්ඩලික සාකච්ඡා වාරය ඇරඹිමට පෙර රියර් අද්මිරාල් සංජීව ඩයස් පාකිස්ථානු නාවික හමුදාවේ උප නාවික හමුදාධිපති (Vice Chief of Naval Staff) වයිස් අද්මිරාල් ෆයිසාල් රසුල් ලෝදි හමු වූ අතර, එහිදී දෙරටේ නාවික හමුදාවන් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව ඔවුන් සුහද කථාබහක නිරත විය. තවද, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.