ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 36 වන ආඥාපති වශයෙන් කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු 2021 සැප්තැම්බර් මස 01 වන දින වැඩ භාර ගන්නා ලදී.

නාවික හා සාගරික විද්‍යාපීඨය ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් පුහුණු කිරීමේ සහ නාවිකයන්ගේ උසස් පාඨමාළාවන් සිදු කිරීමේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වේ. තවද, 2007 වර්ෂයේ සිට ISO 9001:2000 තත්ව සහතිකය හිමි මෙම විද්‍යාපීඨය දැනුමෙන් පරිපූර්ණ මානව සම්පතක් නාවික හමුදාවට දායාද කිරීම වෙනුවෙන් 1967 වර්ෂයේ සිට කැපවී සිටියි. ඒ අනුව, නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන නාවික හා සාගරික විද්‍යාපීඨයේ 35 වන ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී නව ආඥාපති ධූරයේ රාජකාරීන් කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු වෙත භාර දීම 2021 සැප්තැම්බර් 01 දින මෙලෙස සිදු කෙරිණි.

වැඩ භාර ගත් නව ආඥාපති වෙත නාවික සම්ප්‍රධායානුකූලව සම්මාන මුරයක් මගින් ආචාර පිරිනමමින් නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත පිළිගත් අතර, හිටපු ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර වෙත නාවික හා සාගරික විද්‍යාපීඨයේ ‍‍‍‍‍නිලධාරීන් සහ නාවිකයින් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.