නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සහ ගාල්ල මහ නගර සභාව එක්ව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2021 අගෝස්තු 12 වන දින ගාල්ල, දඩල්ල වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

වෙරළ තීරය ඔස්සේ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය සාගරයට එකතුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නිරන්තර දායකත්වය දක්වනු ලබයි. ඒ අනුව, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, ගාල්ල මහ නගර සභාව සහ දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් 2021 අගෝස්තු 12 වන දින ක්‍රියාත්මක කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින් ගාල්ල, දඩල්ල වෙරළ තීරයේ කිලෝමීටර 02ක පමණ ප්‍රමාණයක විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, ඉදිරියේදී ද වෙරළ පරිසර පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීමට සූදානමින් සිටී.