නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිළ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2021 අගෝස්තු මස 08 වන දින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වූ අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනිය ද සහභාගී විය.

මෙම සංචාරය ආරම්භ කරමින් ශ්‍රීලංනානෞ විජය ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රධාන පිවිසුම නාවික හමුදාධිපති විසින් විවෘත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව වයඹ නාවික විධානය මඟින් පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම සිංහල විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද පන්ති කාමර ගොඩනැගිල්ල, විද්‍යාගාර ගොඩනැඟිල්ල සහ අළුත්වැඩියා කරන ලද පරිඝණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම සිදු කෙරිණි. මෙහිදී නාවික හමුදාධිපති විසින් එම විද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා දායක වූ නාවික පුද්ගලයින් අමතා එම සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කර සිසු අයිතියට පත් කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පලකර සිටින ලදී.

අනතුරුව ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානය වෙත පැමිණි නාවික හමුදාධිපති, ආපදා අවස්ථාවන්හිදී පුද්ගලයන් සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධයෙන් නාවිකයින් පුහුණු කිරීම සඳහා එම මූලස්තානයේ ඉදිකළ පුහුණු ආකෘතිය (Collapsed structure Search and Rescue simulator) විවෘත කිරීම සිදුකළ අතර, එහිදී ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේ පුහුණු කණ්ඩායම විසින් එම පුහුණු ආකෘතිය උපයෝගී කර ගනිමින් පුහුණු අභ්‍යාසයක් ද සිදු කරන ලදි. තවද, මෙහිදී ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ මුළුතැන්ගෙය විවෘත කිරීමද සිදු විය.

මෙම සංචාරයේදී නාවික පුද්ගලයින්ගේ සුභසාධන කටයුතු පුළුල් කිරීමේ අරමුණින් ශ්‍රීලංනානෞ තම්බපණ්නී ආයතනය තුළ ඉදිකළ නව නාවික හමුදා සේවා වනිතා යොගට් ව්‍යාපෘතිය විවෘත කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය පැලයක් රෝපණය කිරීමටද කටයුතු කරන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම නිළ සංචාරය සඳහා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කේජේ කුලරත්න, නාවික හමුදාධිපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් සුජීව සෙනවිරත්න, වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ප්‍රසාද් කාරියප්පෙරුම, වයඹ නාවික විධානයේ ආයතනයන්හි අණදෙන නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.