යාපනය මණ්ඩතිව් රෝමානු කතෝලික විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ පහසුකම් සිසු අයිතියට

නාවික හමුදා දායකත්වයෙන් යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැලිල්ල සහ අළුත්වැඩියා කරන ලද පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අද දින (2021 අගෝස්තු මස 01) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව දිවයිනේ අඩු පහසුකම් සහිත තෝරාගත් පාසල් සංවර්ධනය කර දේශයේ අනාගත දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දිනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින්, සෑම නාවික විධානයක් තුළම පහසුකම් අඩු පාසල් සංවර්ධනය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය නාවික හමුදාධිපතිගේ සංකල්පයක් මත 2021 අප්‍රේල් මස 19 වන දින ආරම්භ කෙරිණි.

මෙම සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ උතුරු නාවික විධානය තුළ පහසුකම් සංවර්ධනය සඳහා තෝරාගත් යාපනය, මණ්ඩතිව් දූපතේ රෝමානු කතෝලික විද්‍යාලය නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති 2021 අප්‍රේල් මස 03 වන දින සහභාගී වූ අතර, විද්‍යාලයේ පරිඝණක විද්‍යාගාරය සහ පුස්තකාලය සඳහා අවශ්‍ය දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමේ අවශ්‍යතාවය සහ පංති කාමර අළුත්වැඩියා කර ගැනීමේ අවශ්‍යතාවය එම සංචාරයේදී නාවික හමුදාධිපති වෙත විද්‍යාලයේ විදුහල්පති විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව, ඉතා කෙටි කාලයක් තුල ඉදිකරීම් අවසන් කරන ලද පුස්තකාලය සහ පරිඝණක විද්‍යාගාරය සඳහා වන දෙමහල් ගොඩනැගිල්ල සහ අළුත්වැඩියා කරන ලද පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කර සිසු අයිතියට පත් කිරීම අද (2021 අගෝස්තු 01) සිදු කෙරිණි. මෙහිදී පරිඝණක විද්‍යාගාරය සඳහා අවශ්‍ය පරිඝණක යන්ත්‍ර 10ක්, පරිඝණක මේස සහ පරිඝණක පුටු ලබා දීම මෙන්ම පාසල සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා දීමක්ද, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සිසු දරුවන් පිරිසක් වෙත පාසල් උපකරණ කට්ටල ප්‍රධානය කිරීමක්ද සිදු කෙරිණි.

මණ්ඩතිවු ශාන්ත අන්තෝනි දේවස්තානයේ පූජකතුමන්, එම විද්‍යාලයේ විදුහල්පති ගුරු භවතුන් සහ සිසු දරුවන් විසින් මණ්ඩතිවු, රෝමානු කතෝලික විද්‍යාලය වෙත නාවික හමුදාධිපති ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමට කටයුතු කරන ලදී. මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමඟාමීව සිදු කරනු ලබන දිවයිනේ අඩු පහසුකම් සහිත පාසල් සංවර්ධනය කිරීමේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය, නගරයෙන් දුර බැහැර සිටින අධ්‍යාපනය සඳහා පහසුකම් අඩු දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවස වෙනුවෙන් සිදු කෙරෙන සුවිශේෂී ආයෝජනයක් බව පවසන ලදී. තවද, නාවික හමුදාවේ සියළුම නාවික පුද්ගලයින් ස්වකැමැත්තෙන් සිය මාසික වේතනයෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබා දී ඇති බවත්, නාවික හමුදාවේ තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ඉතා කඩිනමින් මෙම ව්‍යාපෘතිය අවසන් කර සිසු අයිතියට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි සිදු කෙරෙන බවත් පවසන ලදී.

තවද, නාවික හමුදා දායකත්වයෙන් සිදුකළ අළුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් එම විද්‍යාලයේ සිසු දරුවන් මෙන්ම විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය විසින් ද නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත ප්‍රශංසාව පුද කිරීමට ද මෙහිදී කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාව සඳහා යාපනය රදගුරු, ගරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන්, මණ්ඩතිව් දූපතේ පිහිටි කතෝලික දේවස්ථානයේ පූජකතුමන්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, පළාත් අධ්‍යාපන, තරුණ, ක්‍රීඩා සහ සංස්කෘතික කටයුතු ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ කලාප අධ්‍යක්‍ෂක (දූපත්), නාවික හමුදාධිපතිගේ නාවික සහායක සහ නාවික හමුදා පාසල් සංවර්ධන ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ නිලධාරී කොමදෝරු සුජීව සෙනවිරත්න, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ජේපී ප්‍රේමරත්න, නාවික අණභාර නිලධාරී (දූපත්) සහ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයේ අණදෙන නිලධාරී කොමදෝරු හෙන්ස්ලි පීරිස්, එම විද්‍යාලයේ විදුහල්පති, ගුරු භවතුන් සහ සිසු දරුවන් සීමිත පිරිසක් සහ උතුරු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සීමිත පිරිසක් ද සහභාගී වී සිටියහ.

තවද, මෙම නිළ සංචාරයේදී නාගදීප රජමහා විහාරය වැඳපුදා ගත් නාවික හමුදාධිපති, නාගදීප පුරාණ රජමහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලද අතර, එම විහාරස්ථානයේ සහ නයිනතිව් ප්‍රාදේශිය රෝහලෙහි නාවික හමුදාව විසින් සිදු කරනු ලබන සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහාද සහභාගීවිය.