නාවික හමුදා රණවිරුවන් අනුස්මරණය කිරිම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් වැලිසරදී

දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නාවික රණවිරුවන් අනුස්මරණය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් ‍අද (මැයි 19) වැලිසර පිහිටි නාවික රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව සිදු කෙරුණි.

රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරක්‍ෂිත කිරීම උදෙසා දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ම්ලේච්ඡ එල්ටිටිඊ ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීම වෙනුවෙන් නාවික හමුදා රණවිරුවන් 1160 දෙනෙකු සිය ජීවිත පරිත්‍යාග කර ඇති අතර, නාවික රණවිරුවන් 517 දෙනෙකු අබාධිත තත්වයට පත්ව ඇත. ඒ අනුව, මාතෘභූමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් වික්‍රමාන්විතව සටන් කර දිවි පිදු සහ අතුරුදන් වූ එම වීරෝධාර නාවික රණවිරුවන් අනුස්මරණය කරමින් නාවික හමුදාධිපති විසින් වැලිසර නාවික රණවිරු ස්මාරකය අබියස මල් කළඹක් තබා සිය උත්තමාචාරය පුද කෙරිණි. තවද, නාවික හමුදාධිපති වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) සිටින ආබාධිත නාවික රණවිරුවන්ගේ සුවදුක් විමසීමටද සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය ද සහභාගී විය.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද නාවික රණවිරුවන් අනුස්මරණය කිරිමේ අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් රුවන් පෙරේරා, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, වැලිසර නාවික සංකීර්ණයේ අණභාර නිලධාරී කොමදෝරු රෝහිත අබේසිංහ සහ නාවික හමුදා මූලස්ථානය හා බටහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සීමීත පිරිසක් සහභාගී වී සිටියහ.