' මෙන් ඉන් වයිට්ස් ' (Men in whites) සංවිධානය වෙතින් නාවික හමුදා ආබාධිත රණවිරුවන් සදහා පරිත්‍යාගයක්

නාවික හමුදාවේ සේවය කළ විශ්‍රාමික නිලධාරීන්ගෙන් සැදුම්ලත් ‘මෙන් ඉන් වයිට්ස්’ (Men in whites) සංවිධානය මගින්, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය මගින් නිපදවූ රෙදි උපයෝගී කර ගනිමින් මසා නිම කළ ටී ෂර්ට්ස් ආබාධිත නාවික හමුදා රණවිරුවන් වෙත ප්‍රදානය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සංකේතාත්මකව භාර දීම එම සංවිධානයේ කොමාණ්ඩර් (විශ්‍රාමික) හිරාන් සොයිසා සහ ලුතිනන් (විශ්‍රාමික) අයේෂ් ඉන්ද්‍රනාත් රණවක යන නිලධාරීන් විසින් 2020 දෙසැම්බර් 31 වන දින නාවික හමුදා මූලස්තානයේදී සිදු කෙ‍රිණි.

නාවික හමුදාව, වෙරළ තීරයන් ඔස්සේ සාගරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් සිදු වන සාගරික දූෂණය වැළැක්වීම සඳහා, වෙරළ කලාපයන් නිරන්තරව පිරිසිදු කරමින් එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කර ප්‍රතිචක්‍රීකරණය කිරීමේ සමාජ සත්කාර්යයක නිරත වෙයි. ඒ අනුව, විශ්‍රාමික නාවික හමුදා නිලධාරීන්ගෙන් සමන්විත ‘මෙන් ඉන් වයිට්ස්’ (Men in whites) සංවිධානය හා 'නීට් සොලූෂන්ස්' පෞද්ගලික සමා‍ගමේ අනුග්‍රහයෙන් (Neat Solutions Pvt. Ltd) ප්‍රධාන වශයෙන් නාවික හමුදාව විසින් එක්රැස් කරනු ලබන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් ලබා ගන්නා විශේෂ නූල් වර්ගයක් උපයෝගී කර ගනිමින් නිපදවන ලද රෙදි යොදා මසා නිම කළ ටී ෂර්ට්ස්, ආබාධිත නාවික හමුදා රණවිරුවන් වෙත ලබා දීම සඳහා මෙලෙස නාවික හමුදාධිපතිතුමන් වෙත භාර දීම දෙසැම්බර් 31 වන දින සිදු කෙරිණි.

තවද, මෙම සත් ක්‍රියාව සම්බන්ධයෙන් එම සංවිධානය වෙත ප්‍රශංසාව පල කළ නාවික හමුදාධිපතිතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ ලබා දීමට ද කටයුතු කෙරිණි.