සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 62 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරීන්ගේ 61 වන බඳවා ගැනීම සහ කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 62 ක් විසිර යාම සහ අධිකාරියට පත් කිරීම 2020 දෙසැම්බර් මස 12 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ආරාධනයට අනුව ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සාර්ථකව පුහුණුව අවසන් කල ශ්‍රී ලංකා නාවික හමුදාවේ 61 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 48 දෙනෙකු සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 35 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 14 දෙනෙකු නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති අභිමානවත් අධිකාරියට පත්කිරීමේ පෙළපාලිය අවසන තම දෙමව්පියන් සහ සම්භාවනීය අමුත්තන් ඉදිරියේ විසිර යන ලදී.

පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන් හට ආරක්ෂක අමාත්‍යංශයේ ලේඛම් තුමන් අතින් එහිදී විශේෂ සම්මාන ප්‍රදානය කෙරිණි. ඒ අනුව, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 35 වන බඳවා ගැනීමේ දක්‍ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත සහ වෘත්තීය විෂයයන්ගෙන් හා සියළු විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මානයන් මධ්‍ය නිලධාරී, ඒකේඑස් පෙරේරා විසින් ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරි ඒඑච්ටීටී තාරුක විසින් සහ හොඳම ඉලක්කකරුට හිමි සම්මානය මධ්‍ය නිලධාරී ඩබ්ලිව්ඒ ඉමේෂක විසින්ද හිමි කර ගන්නා ලදී.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ 61 වන බඳවා ගැනීමේ දක්‍ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත මධ්‍ය නිලධාරී, කේවීආර් කරුණාරත්න විසින් හිමිකර ගන්නා ලද අතර, නාවික විෂයයන්ගෙන්, වෘත්තීය විෂයයන්ගෙන් හා සියළු විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගැනීම සඳහා වන සම්මානයන් මධ්‍ය නිලධාරී, පීවී කුලසිංහ විසින් ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය, මධ්‍ය නිලධාරි ඒඑච්ජීසී ද සිල්වා විසින් සහ හොඳම ඉලක්කකරුට හිමි සම්මානය, මධ්‍ය නිලධාරී ආර්පීඑල් ද සිල්වා විසින්ද හිමි කර ගන්නා ලදී.

මෙහිදී අධිකාරියට පත් නිලධාරීන් ඇමතූ ආරක්ෂක ලේඛම් තුමන්, රටේ ස්‍‍‍වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීමේ අභියෝගය සන්නද්ධ හමුදාවන්ට පැවරෙන බවත්, මව්බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා නාවික හමුදාවට එක්වීමට හැකිවීම සම්බන්ධයෙන් අධිකාරියට පත් නිලධාරීන් සතුටු විය යුතු බවත් පවසන ලදී. එමෙන්ම තම දරුවන් හට ඉතාමත් නිවැරදි තීන්දුවක් ගැනීම සඳහා නිසි මඟ පෙන්වීම ලබාදුන් අධිකාරියට පත් නිලධාරීන්ගේ දෙමව්පියන් වෙත කෘතඥතාවය පලකල එතුමන්, දරුවන් ගත් තීරණය සම්බන්ධයෙන් දෙමව්පියන් ආඩම්බර විය යුතු බවත් පවසන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේඛම් තුමන් පවසා සිටියේ, දුෂ්කර පුහුණුවෙන් ලද කායික සහ මානසික ශක්‍යතාවයන් තුලින් ඉදිරියේදී ඇතිවන ඕනෑම අභියෝගයක් පහසුවෙන් ජයගැනීමට අධිකාරියට පත් නිලධාරීන්ට හැකි බවත්, රජය විශාල මුදලක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් වෙන්කරන බැවින්, ඉදිරියේදී නාවික හමුදාවෙන් ලැබෙන සම්පත් අරපිරිමැස්මෙන් සහ උපරිම ඵලදායිතාවයෙන් යුතුව ප්‍රයෝජනයට ගැනීමේ වගකීම තරුණ නිලධාරීන්ට පැවරෙන බවයි. එමෙන්ම තම වෘත්තීය කුසලතාවයන් සහ නායකත්ව ගුණාංග වැඩිදියුනු කරගනිමින් ඉදිරියේදී තම වෘත්තීය ජීවිතය ගොඩනගා ගතයුතු බව ද වැඩිදුරටත් පවසන ලදී.

අවසාන වශයෙන්, අධිකාරියට පත්වන නිලධාරීන්, රටට එරෙහිව පැනනගින විවිධ තර්ජනයන්ගෙන් රට රැක ගැනීමේ වගකීම පමණක් නොව ජාතික සමගිය සහ සහයෝගීතාවය සුරැකීමට ද වගකීමෙන් බැඳෙන බවත්, නාවික නිලධාරියකු වශයෙන් අවනත වියයුතු අනපනත් හා රෙගුලාසීන් මෙන්ම, රටේ පොදු නීතියටද ගරු කරමින් මව්බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා අධිෂ්ඨාන කරගත යුතු බවත් පවසමින්, විසිර යන නිලධාරීන් වෙත ආරක්ෂක ලේකම් තුමන් විසින් සිය සුභාශිංසන පිරිනමන ලදී.

මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් කපිල සමරවීර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික ප්‍රදේශයේ අඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා සහ අයවැය හා මුදල්, රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි, නැගෙනහිර නාවික ප්‍රදේශයේ ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා, අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් එස්වීජේඑන් සමරසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවී රණසිංහ, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු දම්මික කුමාර, වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් හා අධ්‍යක්ෂ නාවික පුහුණු, කොමදෝරු කාංචන බානගොඩ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමව්පියන් පිරිසක් සහභාගිවී සිටියහ.

නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශණයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශනයකින් අනතුරුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත් වූ අතර, මෙම වැඩසටහන රටතුල පවතින කොවිඩ් - 19 අවධානම් තත්වය හේතුවෙන් ලබා දී ඇති සියළු සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේද අනුගමනය කරමින් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.