සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය මගින් ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වේ

සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය මගින් ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ දක්‍ෂතා එළිදැක්වීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන උත්සවය අද (2020 ඔක්තෝබර් 01) අතිගරු ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම කේන්ද්‍රයේදී පැවැත් වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි චන්දිමා උළුගේතැන්න මැතිණිය ද සහභාගී විය.

ආරක්‍ෂක අංශ සාමාජිකයින්ගේ පවුල්වල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් රැකබලා ගැනීම සහ එම දරුවන් සඳහා උපකාර කිරීම මූලික අරමුණ කරගනිමින් සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය ආරම්භ කර ඇති අතර, මෙමගින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සායනික, චිකිත්සක හා අධ්‍යාපන පහසුකම් ලබා දීම සිදු කරනු ලබයි.

අද දිනට (2020 ඔක්තෝබර් 01) යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව මෙම කේන්ද්‍රය විසින් රැකබලා ගනු ලබන හා උපකාර කරනු ලබන ආරක්‍ෂක අංශ සාමාජිකයින්ගේ පවුල්වලට අයත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ හැකියාවන්, දක්‍ෂතාවයන් එළිදැක්වීම සහ ඔවුන් උද්‍යෝගිමත් කිරීමේ අරමුනින් එම දරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබූ විවිධ ප්‍රසංගයක් නාරාහේන්පි‍ට පිහිටි එම කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී අතිගරු ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස පැවැත්වීමට කටයුතු කරන ලදි. මෙම විවිධ ප්‍රසංගය සඳහා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 138 දෙනෙකු සහභාගී වූ අතර, උත්සවය අවසානයේ එම දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමක් ද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන්,ආරක්‍ෂක අංශයන්ට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ එම දරුවන්ගේ දෙමව්පියන් ද සහභාගී වී සිටියහ.