නාවික හමුදාධිපති තුමන් මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමුවී සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සමරු සටහනක් තැබූ නාවික හමුදාධිපතිතුමා දියවඩන නිළමේතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රධානය කරන ලදි. තවද ඉදිරියේදී පැවැත්වීමට නියමිත වාර්ෂික පෙරහැර මංගල්‍යයේ වැඩකටයුතු සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු කර ගත් අතර, පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ පෙරහැර මංගල්‍ය සාර්ථකව සිදු කිරීම සඳහා නාවික හමු‍දාවේ දායකත්වය ලබාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන ලදි.

ඉන් අනතුරුව ශ්‍රී දළදා සමිදුන් වැඳපුදාගත් නාවික හමුදාධිපතිතුමන්, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ශ්‍රී දළදා සමිදුන්ගේ ආශිර්වාද ලබා ගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ වන නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළු‍ගේතැන්න මැතිණියද සහභාගී විය.

තවද, නාවික හමුදාධිපතිතුමන් මැණික්හින්න හුරිකඩුව, ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙන වෙත ගොස් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, අතිපූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි මහානායක ස්ථවිරයන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ‍ඓතිහාසික ගැටඹේ රජමහා විහාරයේ පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන්වහන්සේද බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කරන ලදි.