නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලීම‍ට සූදානම් වු පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 17 වන දින නිලාවේලි මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලීම සදහා සුදානමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටිනු ලබන අතර, ඒ අනුව නැගෙනහිර නාවික විධානයේ නාවිකයින් පිරිසක් විසින් නිලාවේලි මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී මුහුදු යාමට සුදානමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) තහනම් දැල් දෙකක් (02), සහ එම ධීවර යාත්‍රාව තුල තිබූ අනෙකුත් ධීවර ආම්පන්නද සමග නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 25 ත් අතර වයසේ පසුවන නිලාවේලි, ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, තහනම් දැල්, සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.