නාවික හමුදා සහයෙන් අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවකු (01) නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි මස 05 වන දින කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වීය.

මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් වව්නතිවු පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 ජුනි මස 05 වන දින කාත්තන්කුඩි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි. එහිදී සැක සහිත පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී ඔහු සතුව අලෙවි කිරීම සඳහා ලඟ තබාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 950 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්වී ඇති අතර, පසුව අදාල පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 34ක් වන අයෙකු බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරු සහ ඔහු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදි.