බලපත්‍ර නොමැතිව මහෝගනී දැව ප්‍රවාහනය කල කැබ් රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව යාපනය, පොන්නාලෙයි මන්සංධිය අසල ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී බලපත්‍ර නොමැතිව මහෝගනී දැව ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සහ එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට 2020 මැයි 26 වන දින කටයුතු කරන ලදි.

රට තුළ පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින අතර, ඒ අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් 2020 මැයි 26 වන දින යාපනය, පොන්නාලෙයි මන්සංධිය අසල ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී සැක කටයුතු කැබ් රථයක් පරීක්‍ෂාවට ලක් කර එම කැබ් රථයේ ප්‍රවාහනය කරමින් තිබූ මහෝගනී දැව අඩි 420ක පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. එහිදී කැබ් රථය තුල ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා (02) සතුව එම දැව ප්‍රවාහනය සඳහා වන වලංගු බලපත්‍ර නොමැති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව අදාල පුද්ගලයින් දෙදෙනා සහ කැබ් රථය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 42 සහ 65 යන වයසේ පසුවන මූලයි, සුලිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කරගන්නා ලද අතර, එම සැකකරුවන් සහ කැබ් රථය වැඩිදුර විමර්ශන සඳහා වඩුකෝට්ටේ පොලිසිය වෙත භාර දෙන ලදි.