ඩිංගි යාත්‍රාවක තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 24 වන දින කෝකිලායි, තුඩුව වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී වෙරළේ නවතා තිබූ ඩිංගි යාත්‍රාවක තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් දැලක් (01) සොයා ගැනීමට සමත් විය.

නොයෙක් තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව දිවයින වටා වූ සාගර කළාපයේ මෙන්ම වෙරළ තීරයන්හිද මුර සංචාරයන් දියත් කරනු ලබයි. නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 මැයි මස 24 වන දින කෝකිලායි, තුඩුව වෙරළ තීරයේ ක්‍රියාත්මක කරන ලද පාමුර සංචාරයකදී වෙරලේ නවතා තිබූ සැකසහිත ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී එම යාත්‍රාවේ තිබී මසුන් ඇල්ලීම සඳහා භාවිතා කරනු ලබන නීතී විරෝධී දැලක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව අදාල තහනම් දැල, ඩිංගි යාත්‍රාව සහ එම යාත්‍රාව තුල තිබූ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද තහනම් දැල, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පුල්මුඩේ පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.