‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් මුහුදේ අතරමංවූ ධීවර යාත්‍රාවන් හට සහාය ලබාදීම සඳහා නාවික හමුදා නෞකාවක් පිටත් කෙරේ.

පසුගිය දින කිහිපය පුරා බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේනද්‍ර කර ගිනිමින් ඇතිවූ ‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා නාවික හමුදාවට අයත් අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් පිටත් කර යැවීමට නාවික හමුදාව අද (2020 මැයි මස 21) කටයුතු කරන ලදි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා 30කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස ඉන්දුනිසියාව ආශ්‍රීත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් ඇති අතර, සුලි කුණාටුවේ බලපෑම පහව යාමත් සමඟ නැවත එම ධිවර යාත්‍රා ගොඩබිම කරා යාත්‍රා කරමින් සිටී. එම ගොඩ බිම වෙත පැමිණෙමින් තිබෙන බහුදින ධීවර යාත්‍රාවන්ට සහය සහ ඉන්ධන ලබා දීම සඳහා නාවික හමුදාව විසින් මෙලෙස නාවික හමුදාව සතු අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අද (2020 මැයි 21) පිටත් කර යැවීමට කටයුතු කරන ලදි. p>

නාවික හමුදාව විසින් මෙරට ධීවර ප්‍රජාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින අතර, බෝහෝ අවස්ථාවලදී ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් විවිධ අනතුරුවලට ලක්වූ ධීවර යාත්‍රා වලට මෙන්ම ධීවර ජනතාවටද සහය ලබාදීමට නාවික හමුදාව කටයුතු කර ඇත. ඒ අනුව මෙම සුලි කුණාටු තත්වය හේතුවෙන් විපතට පත් සියළුම ධීවර යාත්‍රාවන්ද ඉදිරියේදී නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි.