ගැඹුරු මුහුදේදී හදිසියේ අංශභාග රෝගී තත්වයට පත්වූ ධීවරයෙකු ගොඩබිම වෙත රැගෙන විත් ප්‍රථිකාර සඳහා යොමුකිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

බේරුවල ධීවර වරායෙන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු හදිසියේ අංශභාග රෝගී තත්වයට පත්වීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රථිකාර සදහා යොමු කිරීමට කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 මැයි 04) කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකාව වටා ඇති සාගරය ප්‍රයෝජනයට ගනු ලබන නාවික හා ධීවර ප්‍රජාවට සිදුවන ඕනෑම ආපදාවකදී සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව තවත් එවැනි මුදවා ගැනීමේ මෙහෙයුමක් දකුණු මුහුදු තීරයේදී සිදු කරන ලදී. ඒ අනුව බේරුවල, ධීවර වරායෙන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ප්‍රසාදි 04’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට හදිසියේ ඇතිවූ අංශභාග රෝගී තත්වයක් හේතුවෙන් ඔහු කඩිනමින් වෛද්‍ය ප්‍රථිකර සඳහා යොමු කිරීමට සහාය ලබා දෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාව වෙතින් කල ඉල්ලීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් අදාල ධීවර යාත්‍රාව ධීවර කටයුතු වල නිරතව සිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයට යොමු කරන ලදි.

ඒ අනුව, ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුහුදු සැතපුම් 32ක (කිලෝමීටර 60) පමණ දුරකදී පවතින වසංගත තත්වය සැළකිල්ලට ගනිමින් සියළු ආරක්‍ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් අදාල ධීවර යාත්‍රාව වෙතින් රෝගී වූ පුද්ගලයා ලබා ගැනීමට කටයුතු කර පසුව වේග ප්‍රහාරක යාත්‍රාව තුලදීම එම පුද්ගලයා වෙත මුලික ප්‍රථමාධාර ලබා දීමට නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම් කටයුතු කරන ලදි. අනතුරුව ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ මෙම රෝගී පුද්ගලයා සුවසැරිය ගිලන් රථයක් මගින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලදී.

තවද, අන්තර්ජාතික සම්මුතීන් අනුව ශ්‍රී ලාංකිකයින් හට මෙන්ම ව්දේශ නෞකාවන්හි පුද්ගලයින්හටද මුහුදේදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් වලදී ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.