නීති විරෝධී දේශීය මත්පැන් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 14 වන දින නොරෝච්චෝලේ සිට දළුව කරඹ ප්‍රදේශය දක්වා සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්ථානයක් වටලා එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමග දේශීය මත්පැන් තොගයක් සිය භාරයට ගැනීමට සමත් විය.

කොරෝනා ව්‍යසනය රට තුළ ව්‍යාප්තවීම පාලනය සඳහා තම උපරිම දායකත්වය දක්වමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ ආරක්‍ෂාව සහ රට තුල සිදුවන නීතී විරෝධී කටයුතු මර්ධනය කිරීම සඳහාද නිරන්තර මුර සංචාරයන් දියත් කරමින් සිටී. එලෙස ක්‍රියාත්මක කරන ලද තවත් එක් මුර සංචාරයක් 2020 අප්‍රේල් 14 වන දින වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් නොරෝච්චෝලේ සිට දළුව කරඹ ප්‍රදේශය දක්වා දියත් කරන ලද අතර, එහිදී සෙතපොළ ප්‍රදේශයේ වගුරු බිමක ඉතා රහසිගතව දේශීය මත්පැන් නිශ්පාදනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. මෙහිදී දේශීය මත්පැන් (ගෝඩා) ලීටර 750ක පමණ ප්‍රමාණයක් සහ එම මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන උපකරණද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 22 සහ 31 වන වියෙහි පසුවන බවට හදුනා ගත් අතර, අදාල සැකකරුවන්, දේශීය මත්පැන් සහ එම මත්පැන් නිශ්පාදනය සඳහා යොදා ගන්නා ලද උපකරණ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා නොරොච්චෝලේ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදි.