බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් සහ නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, පඩෙයිතුරෙයි ප්‍රදේශයට බටහිරින් වූ මුහුදු ප්‍රදේශයේදී 2020 අප්‍රේල් 14 වන දින සිදු කල මුර සංචාරයක් අතරතුර බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් සහ නීති විරෝධී දැල් භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 17 දෙනෙකු සිය භාරයට ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සහ සාගරික පරිසර පද්ධතියේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම වෙනුවෙන් නාවික හමුදාව සිදු කරනු ලබන තවත් එක් මෙහෙයුමක් උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් මන්නාරම, පඩෙයිතුරෙයි ප්‍රදේශයට බටහිරින් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. එහිදී සැක සහිත ධිවර යාත්‍රා 05 ක් පිළිබඳ සිදු කළ වැඩිදුර විමර්ශනයේදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් සහ නීති විරෝධී දැල් භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 17 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. මෙහිදී එම ධීවර යාත්‍රාවන් , මසුන් කිලෝග්‍රෑම් 30 ක් මුහුදු කූඩැල්ලන් 115 ක්, සහ අනෙකුත් ධීවර උපකරණද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 56 ත් අතර වයස් වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන් ධීවර යාත්‍රා, මුහුදු කූඩැල්ලන්, මසුන් සහ අනෙකුත් ධීවර උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.