නාවික හමුදා රෝහල් වෙතින් දීර්ඝ කාලීනව ප්‍රථිකාර ලබන්නන්ගේ මාසික ඖෂධ සිය නිවෙස්වලට ලබාදීමේ වැඩසටහනක් නාවික හමුදාව ක්‍රියාත්මක කරයි.

නාවික හමුදා රෝහල් මඟින් ප්‍රතිකාර ලබාගන්නා විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ මාසික ප්‍රථිකාර ලබාගැනීම රටේ දැනට පවතින තත්වය හේතුවෙන් අඩාල වී ඇති පසුබිමක එම පුද්ගලයින් පත්ව ඇති අසීරුතාවය සැළකිල්ලට ගනිමින් ගාල්ල හා මාතර දිස්ත්‍රික්‍ක කේන්ද්‍ර කර ගනිමින් ඖෂධ ඔවුන්ගේ නිවෙස්වලට ගෙනගොස් ලබාදීමේ වැඩසටහනක් 2020 අප්‍රේල් මස 06 වන දින ක්‍රියාත්මක කරන ලදි.

නාවික හමුදාධිපති වියිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප ගෝඨාභය පෝල්ගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මගින් දීර්ඝ කාලීනව ප්‍රතිකාර නිර්දේශ කරන ලද රෝගීන් හට ඖෂධ බෙදා හැරීම සිදු කරන ලදි. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඔවුන් හට අවසන් වරට නිර්දේශ කරන ලද ඖෂධ වට්ටෝරුව අයදුම් කරන ලද පුද්ගලයන්ගේ නි‍වෙස් වලට ලබාදීම පලමු අධියර වශයෙන් ගාල්ල හා මාතර දිස්ත්‍රික්‍ක කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි.

මෙහිදී දකුණු නාවික විධාන වෛද්‍ය නිලධාරීගේ අධීක්ෂණය යටතේ ඖෂධ වට්ටෝරු බෙදා හැරීම සිදු කරන ලද අතර, ඉදිරියේදීද මෙවැනි වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව සූදානමින් සිටී..